අග්‍රාමාත්‍යධුරය භාර ගැනීම සහ නව ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා විසින් පිළිතුරු ලිපියක් යොමුකර තිබේ.
ඉන් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ නව අන්තර්කාලීන රජයක අග්‍රාමාත්‍යධුරය භාර ගන්නා ලෙසට තමා ප්‍රථමයෙන් ආරාධනා කළේ සජිත් ප්‍රේමදාස මහතාට බවය. ඊට සූදානම් නොමැති බවත් සාකච්ඡා කර තීරණයක් දැනුම්දෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා තමාට දැන්වූ බවද අදාළ ලිපියෙන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
පසුව ඔබ විසින්ම අග්‍රාමාත්‍යධූරය භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබූ පසුබිමක පවතින ගැටලුවට කඩිනම් විසඳුමක් වෙනුවෙන් අවස්ථා කිහිපයකදීම මෙරට අග්‍රාමාත්‍යධුරය දැරූ පරිණත දේශපාලනඥයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට තමන් තීරණය කළ බවද අදාළ ලිපියෙන් පෙන්වා දී තිබේ.
කෙසේවෙතත් ජනාධිපතිවරයා අදාළ ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා ඔබේ පක්ෂයේ යම් පිරිසක් ඉදිරියේදී පත්කිරීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් කිරීමට එකඟ වන්නේ නම් ඒ සම්බන්ධයෙන් නොපමාව තමාව දැනුවත් කරන ලෙසය.
