සමන්ත ප්‍රීති කුමාරගේ ඝාතනය පොලිසියේ සාහසික අපරාධයක්.

සමන්ත ප්‍රීති කුමාරගේ ඝාතනය සාහසික අපරාධයක්, යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය ගැන මහජන විශ්වාසය තහවුරුවෙන පරිදි කඩිනමින් පියවර ගන්න – මාලිගාකන්ද ගරු මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ …..
ජනමාධ්‍ය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය මගින් ‘“තවත් එක් කුඩ්ඩකුගේ මරණයක්” ලෙසින් එකල හැඳින්වූ සමන්ත ප්‍රීති කුමාරගේ මරණය පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව පසුගිය 06වැනිදා ලබාදුන්නා. මාලිගාකන්ද ගරු මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ ලබාදුන් එම තීන්දුවේ උදෘත කිහිපයක් පහත පළකෙරෙන්නේ අත් අඩංගුවේ සිටින සියලුදෙනාගේ ආරක්ෂාව වෙනුවෙනි.

//ඥාතීන් දැඩි ලෙස මරණකරුගේ මරණය පොලිස් පහරදීමකින් සිදුවී ඇති බවට කියා සිටි අතර, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය දැඩිලෙස බිද වැටී තිබිණි//

//ඒ අනුව අධිකරණය විසින් පවත්වන ලද මරණකරු​ගේ මෘතදේහය ආශ්‍රිත මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයද, ස්ථාන පරීක්ෂණයද විවෘත අධිකරණයේ පවත්වන ලද වැඩිදුර මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී ඉදිරිපත් වූ සාක්ෂි සියල්ලද ප්‍රධාන අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා විසින් මරණකරුගේ මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ දක්වන මරණයට හේතුව අනෙකුත් අදාළ මතයන්ද යන සියල්ල ගෙන සළකාබලා, මෙම නඩුවේ මරණකරු වන අන්තෝනි ගමගේ සමන් ප්‍රීති කුමාර යන අයගේ මරණයට දෘෂ්‍යමාන හේතුව මොට ආයුධවලින් පහරදීමේ හේතුවෙන් ඔහුගේ ශරීරයේ බහුවිධ මෘදු පඨක තුවාල වී සිදුවූ රක්තපාත කම්පනය බවට තීරණය කරනු ලබන අතර එකී, ක්‍රියාව තුළ සාහසික අපරාධයක් සිදුව ඇති බවට තීරණය කරමි//

// අදාළ මරණකරුගේ මරණය පොලිස් අත්අඩංගුවේදී සිදුවී ඇති බැවින් යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය තවදුරටත් තහවුරු වීම උදෙසා කඩිනමින් පියවර ගෙන වගකිවයුතු සියලු සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අප්‍රමාදව අධිකරණට ඉදිරිපත් කිරීමට නිසි බලය ඇති මහෙස්ත්‍රාත්වරයා ලෙස සහ ප්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස අපරාධ නඩු විධාන සංග්‍රහයේ 371(2) වගන්තිය අනුව යමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කරමි//

(ජනවාරි 23වැනිදා තැබූ සටහන)

මේ කාන්තවන් හතරදෙනා හික්කඩුව තෙල්වත්තේ ඉඳන් ඇවිත් ඊයේ ඉඳන් කොළඹ තියෙන පොලිසි, උසාවි, රෝහල් තැනින් තැනට යමින් ඉන්නේ එක් කාන්තාවකගේ පුතා, තවත් කාන්තාවගේ ස්වාමිපුරෂයා සහ අනෙක් කාන්තාවගේ සහෝදරයා සමන්ත ප්‍රීති කුමාර වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉටු කරගන්න.

සමන්ත ප්‍රීති කුමාර වයස 41යි. දරුවන් දෙදෙනකුගේ පියෙක්. වාත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකාරවරයෙක්. පසුගිය 10 වැනිදා දවල් ආහාර ගැනිමට කාර්යාලයෙන් පිටතට පැමිණි ඔහු පසුව දැනගන්නා පරිදි මත්ද්‍රව්‍ය කාර්යංශයේ යැයි සැළකෙන පිරිසක් විසින් රැගෙන යනවා. එදින රාත්‍රියෙත් ඔහු නවාතැනට එන්නේ නැහැ, රාත්‍රියේ දි බිරිදගේ ඉල්ලීම පිට ඔහුගේ මිතුරන් නාරාහේන්පිට පොලිසියට මේ ගැන පැමිණිල්ලක් කරන්න ගියත් එය බාරගන්නේ නැහැ. 11වැනිදා දැනගන්න ලැබෙනවා පහරකෑම් නිසා මියගිය ප්‍රීති කුමාරගේ සිරුර මත්දුව්‍ය කාර්යංශය විසින් ජාතික රෝහලට භාරදී ඇති බව.


ඒ අතර පොලිසිය විසින්ම ජනමාධ්‍යයට ලබාදීලා තියෙන තොරතුරු ජනමාධ්‍ය මගින් සුපුරුදු ලෙස අත්අඩංගුවෙදී සිදුවූ ඝාතනනයේ වරද නොව වැරද්ද කරලා තියෙන්​නේ ඝාතනයට ලක්වූ පුද්ගලයගේ බවට හැගවෙන ආකාරයට එදිනම පළ කරනවා. දැන් කළින් දිනයේ රැකියාවට ගිය පියා ​පැය 24 ඇතුළත පැහැරගෙන ගොස් පහර දී ඝාතනය කරලා කුඩුකාරයෙක් බවට ජනමාධ්‍ය මගින් තීන්දුවකුත් දීලා. එහෙම රටක නීතිය දෙස රජයේ සේවිකාවක් වන ප්‍රිති කුමාරගේ බිරිද සහ පාසල් යන දරු දෙදෙනා තවම බලාගෙන ඉන්නවා.

මේ ගැන අපි අද මානව හිමිකම් කොමිසටම පැමිණිලි කළා. මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ මේ පිළි​බද මූලික විමර්ශන සිදු වෙනවා.

(නීතිඥ ප්‍රබෝධ රත්නායකගේ ෆේස්බුක් පිටුවෙන්)

Exit mobile version