වවුනියාවේ පිහිටි නිවසක දියණියකගේ උපන් දින සාදය පැවැත්වෙමින් තිබියදී මුහුණු ආවරණය කරගෙන නිවසට කඩා වැදුණු පිරිසක් එම නිවසට ගිනි තැබීම නිසා වයස අවුරුදු 21ක තරුණියක ගින්නට හසුව මිය ගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේ නිවෙසක ඊයේ (23) අලුයම මෙම ගින්න හටගෙන ඇති බව සදහන්.
ගින්නෙන් නව දෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් තෝනික්කල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 2ක කුඩා දරුවෙකු, අවුරුදු 7ක සහ අවුරුදු 13ක දැරියන් දෙදෙනෙකු, වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් හතර දෙනෙකු, අවුරුදු 42ක පිරිමි පුද්ගලයෙකු සහ ඕමන්තේ පදිංචි අවුරුදු 36ක පුද්ගලයෙකු ද වන බව පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ, මුහුණු ආවරණය කරගෙන පැමිණි පිරිස නිවසේ සිරකොට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කිරීම නිසා නිවස ගින්නට හසු ව නිවස ඇතුළත සම්පූර්ණයෙන් හානි වී ඇති බවයි.
මෙම ප්‍රහාරය වවුනියාවේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට එල්ල කර ඇති අතර පෙරේදා රාත්‍රියේ 200ක් පමණ අමුත්තන් මෙම ව්‍යාපාරික නිවෙසේ සාදයට පැමිණ තිබේ.
සිවු හැවිරිදි දරුවෙකුගේ උපන්දින සාදයක් එහි සංවිධානය වී ඇති අතර අලුයම් කාලය වන විට පැමිණි බොහෝ දෙනෙකු පිටව ගොස් ඇත.
දැනට ලැබී ඇති තොරතුරු අනුව එක ම ශරීර ප්‍රමාණ ඇති හත්දෙනෙකු හෝ අට දෙනෙකුගේ කණ්ඩායමක් පැමිණ ඇති බව පැවසෙන අතර සී.සි.ටී.වී. කැමරා දර්ශනවල හයදෙනෙකු නිරීක්ෂණය වන බව සඳහන්.
ඔවුන් මුහුණු බැඳ පැමිණ ඇති අතර ඉතා සුළු කාලයක් තුළ පුද්ගලයන් කපා කොටා නිවසට ගිනි තබා ඇත.
සිද්ධියෙන් මියගිය 21 හැවිරිදි ෆාතිමා නිම්මා සෆීදීර් තරුණිය වවුනියාව තෝනික්කල් සර්කියුලර් මාර්ගයේ පදිංචිකාරියක වන අතර ඇය නිවස තුළ ම තුවාල ලබා මරණයට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
