සොයිසා රෝහලේ සිදුකළ විශ්මිත සැත්කමක් .

ඉතා දුර්ලභ ගණයේ කලල පිහිටීමක් සැත්කමකින් පසු සාර්ථක දරු උපතක් සිදුකිරීමට කොළඹ ද සොයිසා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත්වී ඇති බව වාර්තා වේ.

මෙලෙස සිසේරියන් සැත්කමකට මුහුණ දුන්නේ කින්නියා ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මවකි.

මේ මව මීට සති කිහිපයකට පෙර ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් වන්නේ දුර්ලභ ගණයේ දරු උපතක් සඳහාය.

දරුවාගේ කලලය වර්ධනය වී තිබුණේ ගර්භාෂයෙන් පිට බඩවැල්වලට ඇලුණු වැදෑමහක වීම මෙහි තිබූ බැරෑරුම් තත්ත්වය බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ. 

එවැනි කලල පිහිටීමක් හරහා දරුවෙකු බිහිකිරීම මවගේ ජීවිතයට ගෙන දෙන්නේ විශාල අවධානමකි.

මෙම මව ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් වන විට ඇගේ කලලයට සති 28 ක් පිරී තිබුණු අතර වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ මෙය දුර්ලභ ගණයේ දරු උපතක් වන බැවින් සැත්කම සාර්ථකව සිදුකිරීමට නම් ඇය කොළඹ ද සොයිසා රෝහලට මාරු කළ යුතු බවයි.

ඒ අනුව මවගේ සති 28 ක් වූ කලලය සති 34 ක් දක්වා වර්ධනය වනතුරු දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ කොළඹ ද සොයිසා රෝහලේ නේවාසිකව රඳවා ගෙන තිබේ.

ඉන් පසු දරු උපත සඳහා වන සිසේරියන් සැත්කම අද (16) සාර්ථකව සිදුකළ බව සදහන්.

වෛද්‍යවරුන් පවසන්නේ අලුත උපන් බිළිඳිය සහ මව ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවයි.

ඒ, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය හර්ෂනි ලියනගේ, කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය ඉෂාන් ද සොයිසා, විශේෂඥ වෛද්‍ය කණිෂ්ක කරුණාරත්න සහ කොළඹ ද සොයිසා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මොහොමඩ් රිෂාඩ් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය විසිනි.

Exit mobile version