සෞඛ්‍ය මාර්ගෝපදේශයන් කිහිපයක් නීතියක් බවට පත් කිරීමට තීරණයක්.

කොවිඩ් වෛරස තත්ත්වය පාලනය කර ගැනීම උදෙසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් බවට පත් කිරීමට තීරණය කර ඇති අතර එයට අදාළ ගැසට් නිවේදනය ලබන සඳුදා දිනයේ නිකුත් කිරීමට නියමිතය.

අද (14) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මේ බව සඳහන් කර ඇත.

ගත වූ පැය 24ක කාලය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 3152 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 348,270 දක්වා ඉහළ ගොස් ඇති බවට වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවල සඳහන් වේ.

මේ අතරින් 304,628 දෙනෙකු ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කර ඇත.තව දුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 37 000කට අධිකය.

එමෙන් ම කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ දැනට මෙරට භාවිතයට ගන්නා ඇස්ට්‍රාසෙනෙකා,සයිනොෆාම්,ෆයිසර් හා මොඩර්නා යන එන්නත්වල පළමු හා දෙවන මාත්‍රා 373,661 දෙනෙකුට ඊයේ දිනයේ ලබා දී තිබේ.

ඒ අනුව මේ වන විට මෙරට තුළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 01 ක් හෝ ලබාගෙන ඇති පිරිස 01 කෝටි 17 ලක්ෂ 62 653 ක් බවට වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව සඳහන් වේ.

මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 43 ලක්ෂ 2572 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Exit mobile version