08 හැවිරිදි දැරියක් ගින්නකට හසු වී මරු තුරුළට

වැලිගම, වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක් ගිනි ගැනීමෙන් එහි සිටි 08 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (30) රාත්‍රී කාලයේ දී කාමරයක් තුළ ඇති වූ ගින්නක් හේතුවෙන් එහි වහළ පිළිස්සී නිවස තුළට කඩා වැටී ඇති අතර කාමර තුළ නිදාසිටි දැරිය ඉන් පිළිස්සී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

අදාළ ගිනි ගැනීම සිදුවන අවස්ථාවේ දී ඇයගේ මිත්තනිය සහ වයස අවුරුදු 13ක සහෝදරිය අසල කාමරයක නිදා සිට ඇති අතර ඔවුන් නිවසින් එළියට දිවගොස් දිවි බේරාගෙන ඇත.

වැලිගම පොලිසිය මාතර ගිනි නිවීමේ රථ ගෙන්වා ගින්න පාලනය කළ අතර ගිනි ගැනීමට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැත.

නිවස තුළ තිබූ ගෑස් සිලින්ඩරයට, ගෑස් උඳුනට හෝ වෙනත් උපාංගයන්ට කිසිදු හානියක් සිදුව නොමැති බව පොලිසිය පවසයි.

මේ වන තෙක් කරන ලද විමර්ශනවලදී ගින්න ගෑස් ආශ්‍රයෙන් සිදු වූවක් නොවන බවට නිරීක්ෂණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට ද නියමිතව ඇත.

මීට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු වැලිගම පොලිසිය මගින් සිදු කරයි.

Exit mobile version