.
මාධ්‍යවේදියෙකු වන රසික ජයකොඩි මහතා තම මුහුණු පොතේ සටහනක් තබමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ දුර්වලතා ගැන සටහනක් තබා තිබේ. එම ලිපිය තුල සජිත් ප්‍රේමදාස මහතා හොද මිනිසෙකු බවත් ඉදිරියේදී සමගි ජනබලවේගයට කුනාටුවකට මුහුණ දීමටත් සිදුවේ. සම්පූර්ණ ලිපිය පහතින්.
“ලංකාවේ මෑත කාලීන දේශපාලනයේ උපායමාර්ගික වැරදි (strategic blunders) ගැන පොතක් ලියනවා නම් ඒ පොතේ දිග ම පරිච්ඡේදයක් වෙන් කරන්න වෙන්නේ සජිත් ප්‍රේමදාස ගේ සමගි ජන බලවේගයටයි.
එතැන දී සජිත්ටත් ඔහු ගේ පක්ෂයටත් තරගයක් දෙන්නට පුළුවන් ගෝඨාභය රාජපක්ෂට විතරයි.
අගමැති ධූරය භාරගැනීම සහ නව ආණ්ඩුවක් පිහිටුවීම කියන කාරණයේ දී සජිත් ප්‍රේමදාස ගේ සමගි ජන බලවේගය මුල සිට ම හැසිරුණේ ඉතා ම විහිළු සහගත විදියටයි.
ඒක රටක පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයකින් බලාපොරොත්තු වෙන්න බැරි තරමේ මෝඩ සහ විහිළු සහගත හැසිරීමක්.
අපේ රටේ ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්ත ම ආර්ථික අර්බුදය මුලින් ම ඉස්මතු වුණු වෙලාවේ එයට මුහුණ දීම සඳහා සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය බවටත් ඒ සඳහා දේශපාලන එකඟත්වයක් ගොඩනගාගැනීමට භාරකාර රජයක් අවශ්‍ය බවටත් මත පළ වෙන විට විට සමගි ජන බලවේගය කිව්වේ “සජිත්ව ජනාධිපති කළාම සේරම හරියනවා” කියායි.
ඒ කාලයේ ඒ පක්ෂය සජිත් ගේ පින්තූර ගහගෙන, කොළ තොප්පි දාගෙන, බෝඩ් ලෑලි එල්ලගෙන “සජිත්ට රට භාරදෙන්න” කියා තැන් තැන්වල විරෝධතා පැවැත්වූවා.
ඉන්පස්සේ ආර්ථික අර්බුදය උග්‍ර දේශපාලන අර්බුදයක් බවට පෙරළෙන කොට, රට පුරා ආණ්ඩුවට එරෙහිව පුරවැසි විරෝධතා ඇවිළෙනකොට “හොරු ඉන්න ආණ්ඩුවලට අපි යන්නේ නෑ,” යනුවෙන් හන්දි ගාණේ ගිහින් බාලාංශයේ දරුවන්වත් පිළිගන්නේ නැති මෝඩ කතා කියමින් ඒ මොහොතේ දේශපාලන මැදිහත්වීමක් කිරීම මග හැරියා.
ඇත්තට ම සමගි ජන බලවේගය ඒ මොහොතේ එය මගහැරියේ මේ අර්බුදය විසඳන්න මැදිහත් වුණොත් විහාල අවුල් ජාලයකට තමන් ගේ පක්ෂය මැදි වේ යැයි කියන බය නිසයි.
මේ තරම් දරුණු අර්බුදයක් වෙලාවේ ඒ වෙනුවෙන් මැදිහත් වෙන්නේ නැතුව කයිවාරු කතා කියමින් කාලය නාස්ති කිරීම ගැන සමගි ජන බලවේගයට වගේ ම පාර්ලිමේන්තුවේ සියලු ම දේශපාලන පක්ෂවලට විශාල මහජන විරෝධයක් එල්ල වුණා.
රටේ පුරවැසියන් සමස්ත දේශපාලන ක්‍රමයේ වෙනසක් ගැන කතා කරන කොට සමගි ජන බලවේගය ඒ ගැන කිසිම වගක් නැතිව පරණ දේශපාලන ක්‍රමය ම කරතියා ගෙන යමින්, රටේ දැන උගත් මධ්‍යම පංතිය සමග පාලමක් ගොඩනගනවා වෙනුවට ගමේ ඉන්න කොළ පාට තොප්පි දාගත් මෝඩ, මහළු පාක්ෂිකයන් සන්තර්පණය කරමින් විනාශකාරී ගමනකට එළඹුණා.
කොටින් ම රටේ ආර්ථිකය මේ තරම් ව්‍යසනයක පවතින වෙලාවක මහ මැතිවරණයක් ඉල්ලා සිටින තරමට පවා සමගි ජන බලවේගය මෝඩ වුණා.
මේ පුරවැසි අභිලාෂයන්ට දැක්වූ අසංවේදීකම නිසා සමගි ජන බලවේගයට තිබුණු පොදු විරෝධය ටිකෙන් ටික මහජන වෛරයකට පෙරළුණා.
අන්තිමේදී මෙය අනෙක් පැත්ත පෙරළාගන්නට තිබුණු එක ම තැන වුණේ මේ දැවැන්ත අර්බුදය හමුවේ රට ඉදිරියට ගෙනයාමේ අභියෝගය නොබියව භාරගැනීමයි.
ඒත් ඒක කරන්න ඔවුන්ට කොන්දක් තිබුණේ නැහැ. ඔවුන් යළිත් කයිවාරු ගැසුවේ “රාජපක්ෂලා ඉන්න ආණ්ඩුවකට තමන් එකතු වෙන්නේ නැහැ” කියලයි. අන්තිමේදී ගෝඨාභය හැරෙන්නට අනෙක් රාජපක්ෂලා ටික පළාගියාට පස්සේ ඔවුන් කිව්වේ “ගෝඨාභයත් අයින් වුණොත් ආණ්ඩුව බාරගන්න සූදානම්!” කියලයි.
මේක හරියට ම සමාන වෙන්නේ “ගල උස්සලා මගේ කරේ තිබ්බොත් මම ගල ගෙනිහින් පෙන්වන්නම්” කියලා අන්දරේ කියපු කතාවටයි.
මේ රටේ මිනිසුන් බලාපොරොත්තු වුණේ අර්බුදකාරී වෙලාවක රටේ අභියෝගය බාරගෙන, නිශ්චිත සැලසුමක් සහ කාලරාමුවක් තුළ ගෝඨාභය ද එළවා දමා රට ස්ථාවර කරන්න පුළුවන් පාලනයක් මිසක් “ඔයාලා ගෝඨාභය එළවා දැම්මොත් අපි ඇවිල්ලා රට පාලනය කරන්නම්” කියන අන්දරේ කෙනෙක් නෙවෙයි.
නායකත්වය කියන්නේ කුණාටු සහිත රළු මුහුද මැද දී නොපමාව නැව භාරගෙන තත්ත්වය ස්ථාවර කිරීම මිස අන්දරේ කියන ජාතියේ ගොන් කථා කියමින් කාලය නාස්ති කිරීම නෙවෙයි.
අන්තිමේ රනිල් අගමැතිකම භාරගන්නට කැමැත්ත පළ කරලා දිවුරුම් දෙන්න වෙලාවත් නියම කරගත්තට පස්සේ සජිත් හීනෙන් අවදි වෙලා වගේ අගමැතිකම ඉල්ලලා එක පාරට ම ගෝඨාභයට ලියුමක් යැව්වා.
ඒ ලියුම සමාජයේ විහිළුවක් බවට පත්වුණා.
රනිල්ට මාස කිහිපයකට වඩා මේ අලුත් ආණ්ඩුව ඇදගෙන යන්න බැහැ කියලා මම හිතනවා. නමුත් මේ අලුත් ආණ්ඩුව මුහුණ දෙන දේශපාලන කුණාටුව හා සමාන කුණාටුවකට ඉදිරි කාලයේ දී සමගි ජන බලවේගය ද මුහුණ දෙනවා.
ඒ නිසා ඉදිරියේ දී රනිල් මුහුණ දෙන කුණාටුවෙන් අබමල් රේණුවක හෝ වාසියක් සමගි ජන බලවේගයට ලැබෙන්නේ නැහැ.
සමගි ජන බලවේගය තුළ සිටින යන්තමින් හෝ ඔළුව වැඩ කරන මිනිසුන්ට දේශපාලනයේ තම වලංගුභාවය රැකගන්න නම් මේ විහිළුකාරී පක්ෂයෙන් එළියට ඇවිත් වෙනත් විකල්පයක් සොයාගන්නට වෙනවා.
මම සජිත් ගේ දකින ලොකු ම හොඳ නම් සජිත් දුෂ්ඨ (evil) මිනිසෙකු නොවීමයි. ඔහු හොඳ මනුෂ්‍යයෙක්. කෙනෙකු හොඳ නායකයෙකු වන්නට කලින් හොඳ මනුෂ්‍යයෙකු වී සිටිය යුතුයි. එහෙත් නායකයා හොඳ මනුෂ්‍යයෙකු වීමට පමණක් බර තබා දේශපාලන පක්ෂයක් දිගුකාලීනව ගොඩනැගිය නොහැකියි. ඒ සඳහා තවත් බොහෝ සාධක එකතු කරගන්නට සිදුවෙනවා.
මේ අනෙක් සාධක එකතු කරගැනීමේදී සමගි ජන බලවේගය ඉතා ම බරපතළ විදියට අසමත් වෙලා තියෙනවා. මෙතැනින් එහාට ඔවුන්ට සිදුවන්නේ ඔවුන් ඉදිරියේ තිබෙන දේශපාලන ප්‍රපාතයේ පහළට පෙරළී යාමට පමණයි.“
copiright from his face book
