ජාතික ඖෂධ නියාමන අධිකාරියට කෝටි 19 ක් පාඩුයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිය සේවා ගාස්තු කලට වේලාවට සංශෝධනය කිරීම පැහැර හැරීම හේතුවෙන් රුපියල් කෝටි 19 කට ආසන්න ආදායමක් පසුගිය  2021 වර්ෂයේදී අහිමිව ගොස් ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් කර ඇති බව වාර්තා වේ.

එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ මෙසේ අහිමිව ඇත්තේ ඖෂධ,වෛද්‍ය උපකරණ සහ වෙනත් නිෂ්පාදන සම්බන්ධයෙන් ලියාපදිංචි සහතික නිකුත් කිරීම,බලපත්‍ර ලබාදීම, ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුමැතිය, ඇසුරුම් කිරීම සඳහා වන අනුමැතිය , නියෝජිත ආයතන පැවරීම සඳහා වන අනුමැතිය,පරීක්ෂණ පැවැත්වීම සහ සපයනු ලබන අනෙකුත් සේවාවන්  වෙනුවෙන් අය කෙරෙන ගාස්තුවලින් කොටසක් බවයි.

එමෙන්ම එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ  නිලධාරීන්ගේ අතපසුවීම්  හා වෙනත් විවිධ ගැටළු හේතුවෙන් 2021 වර්ෂයේ අවස්ථා 18 කදී ලක්ෂ දස දහසකට වැඩි ආදායමක් විවිධ ආයතනවලට  ආපසු ගෙවා තිබූ බවයි.

මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්‍යාලය ප්‍රකාශ කර ඇත්තේ මෙම සේවා වෙනුවෙන් අය කෙරෙන ගාස්තු අවසන් වරට සංශෝධනය කර තිබුණේ 2018 වර්ෂයේ ජනවාරි 5 වැනිදා බවත් ,  2021 වර්ෂයේදී  ගාස්තු සමාලෝචනය කර අදාළ සංශෝධන භාණ්ඩාගාර අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු වුවත් අධිකාරියේ  බලධාරීන් ඒ අනුව කටයුතු කර නොමැති බවත් ය.


Exit mobile version