දැන දැනම ගෙනා ලෙඩ ගුවන් යානා 4න් 2ක්ම කඩා වැටුණා.

පසුගිය දා ත්‍රිකුණාමලයේ චීන වරායේදී අනතුරට ලක් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානය ඇතුළුව PT – 6 ගුවන් යානා හතරක් මෙරටට ගෙන්වා ඇත්තේ ඒවා මිල දී ගැනීම සඳහා කළ පරීක්ෂණවලදී ‍දෝෂ සහිත බැව් හඳුනාගෙන තිබූ පසුබිමක බවට කරුණු අනාවරණය වී තිබේ.

2016 අගෝස්තු මාසයේදී ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් හරහා ලද මුදල් අනුමැතිය මත 2018 වසරේදී ගෙන්වන ලද මෙම ගුවන් යානා චීනයේ ජාතික ගුවන් තාක්ෂණ අපනයන සහ ආනයන සංස්ථාව (CATIC) වෙතින් ඇණවුම් කර ඇති අතර ජාත්‍යන්තර ලංසු කැඳවීමකින් තොරව ඍජුව ම චීනයෙන් මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබූ බව විගණන විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම යානා පරීක්ෂා කිරීම සඳහා එකී කර්මාන්ත ශාලාවට ගොස් ඇති අතර එහිදී නිෂ්පාදකයන් ශ්‍රී ලංකාව සඳහා ඉදිරිපත් කළ යානා හයෙන් 4ක් ම ‍දෝෂ සහිත බව නිරීක්ෂණය වී ඇති අතර ඒවා යළි වෙනස්කම් සිදු කිරීමෙන් පසු භාර ගැනීමට එකඟත්වය පළ කර තිබේ.

පසුගිය දා චීන වරාය ගුවන් පථය ආසන්නයේදී වින්ග් කමාන්ඩර්වරයෙකු සහ ගුවන් යානා ඉන්ජිනේරුවකුට මරු කැඳවමින් කඩා වැටුණු SBT 195 (ගුවන් යානා අංක 7132007) දරන යානය එම පරීක්ෂාවේදී යානය දකුණු පැත්තට ඇදී පියාසර කරන තත්ත්වයක් යානය මිල දී ගැනීමට පෙර නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව, එම අඩුපාඩුව නිවැරදි කර භාර ගත යුතු බවට නිර්දේශ වී තිබේ. එසේ ම පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 15 වන දා කන්තලේ සූරියපුරදී පුහුණු ගුවන් නිලධාරියකු සමග කඩා වැටුණු මෙම පන්තියේ ම SBT 197 (යානා අංක 7132009) දරන යානය පියාසැරියේදී වම් පත්තට ඇදී යන තත්ත්වයක් සහ එන්ජිමේ ආර්පීඑම් අගය 1500 ඉක්මවූ විට දෙදරුම් කනසුලු ස්වභාවයක් නිරීක්ෂණය වී තිබූ අතර අදාළ අඩුපාඩු සැකසීමෙන් පසු දෙවන පියාසැරි පරීක්ෂණයෙන් පසු එය භාර ගැනීමට ගුවන් හමුදා නිලධාරීන් එකඟ වී ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් සිදු කරන ලද විගණන විමර්ශනයකදී අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකාව මිල දී ගන්නට සැලසුම් කළ මෙම යානා 6 අතරින් හොඳ තත්ත්වයේ පවතින බවට පස් දෙනකුගෙන් සමන්විත ගුවන් හමුදා නිලධාරී කමිටුව නිරීක්ෂණය කර ඇත්තේ, SBT 191 සහ SBT 196 යානා දෙක පමණකි. එසේ වුව ද සෙසු යානා අඩුපාඩු සහිතව ගෙන්වා ඇති අතර එම යානා හතරෙන් දෙකක් ම මේ වන විට කඩා වැටී ගුවන් නිලධාරීන් තිදෙනෙකු මරුමුවට පත්ව ඇත.

මෙම යානා හය මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් 56,23,070ක් එනම් (රුපියල් කෝටි 95ක්) වියදම් කර ඇත.

(මව්බිම )

Exit mobile version