නිරෝධායන කාල සීමාවේ ආනයනික එළුවන් 38 ක් මිය ගිහින්.

ඉඹුලදණ්ඩ එළු අභිජනන මධ්‍යස්ථානයේ ආනයනික එළුවන් 100 ක්  අතුරින් නිරෝධායන  කාලසීමාවේදී එළුවන් 38 දෙනකු මියයෑමේ සිද්ධියක්  සම්බන්ධයෙන්   රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවදානය යොමුවිය.

මේ අතර අධ්‍යයන, අභ්‍යාස හෝ රාජකාරී කටයුතු සඳහා විදෙස්ගතවී යළි සේවයට වාර්තා නොකළ  සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් නව දෙනෙකුගෙන් අයවිය යුතු රුපියල් දෙකෝටියකට ආසන්න මුදලක් අය කර නොගැනීම  සම්බන්ධයෙන් එම  කාරක සභාවේ අප්‍රසාදය පළවිය.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්  එහිදී කමිටුවට පෙන්වා දුන්නේ ඒ  නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගනිමින් සිටින බවයි.

මේ අතර   අඩු ලංසු තිබියදී වැඩි ලංසු තැබූ සමාගමකින් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එන්නත් ලක්ෂයක් මිලදී ගැනීමේදී ලක්ෂ හතළිහක් පමණ වැඩිපුර ගෙවා ඇතැයිද  කෝපා කමිටුවේදී  තොරතුරු අනාවරණය විය.

ඉඹුලදණ්ඩ එළු අභිජනන මධ්‍යස්ථානයේ ආනයනික එළුවන් 100 ක්  අතුරින් නිරෝධායන  කාලසීමාවේදී එළුවන් 38 දෙනකු මියයෑමේ සිද්ධියක්  සම්බන්ධයෙන්ද  රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවදානය යොමුවිය.

එළුවන් ආනයනය සඳහා ප්‍රසම්පාදන මණ්ඩලයේ අනුමැතිය 2017 වර්ෂයේදී ලැබී තිබියදී  එම ආනයනය 2019 වර්ෂයේදී කිරීම හේතුවෙන් විනිමය අනුපාතයේ වෙනස්වීම මත රුපියල් ලක්ෂ විසි තුනකට වැඩි මුදලක්  අමතරව ගෙවා  ඇතැයි මෙහිදී හෙළිවිය.

මෙරට දෛනික දියර කිරි අවශ්‍යතාවෙන් සියයට  60 ක අඩුවක් පවතින බවද තොරතුරු අනාවරණය විය.

මෙම  හිඟය සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපතිවරයා  විමසූ අතර එහිදී  නිලධාරීන් පෙන්වා දුන්නේ දිනකට කිරි ලීටර්  සිය ගණනින් නිෂ්පාදනය කළ හැකි ගොවිපළවල් 15000 ක් ඇති කිරීමට කටයුතු කර ඇති බවයි. මෙම  ගොවිපොළවල් සඳහා  2000 ක් පමණ ලියාපදිංචිවී ඇති බවද ඔවුහු සඳහන් කළහ.

ගොවිපොළවල් පිහිටුවීම සම්බන්ධයෙන් ජාතික සැලැස්මක් සකස්කිරීම වැදගත් බව කෝපා කමිටු සභාපති ලසන්ත අලගියවන්න මහතා කීවේය.  එසේම මේ පිළිබඳව සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසද  සභාපතිවරයා නිර්දේශ කළේය.

මේ කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ 2019/2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය  ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය  (06) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

( ලංකාදීප )


Exit mobile version