ගම්පොල ප්‍රදේශයේ දී බස් රථයක යමින් සිටි ශ්‍රී ලංගම බස් රියදුරකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
පසුගිය 24 වනදා අලුයම ශ්‍රී ලංගම බස් රථයෙන් යමින් සිටි හේමන්ත රාජපක්ෂ නමැති අදාළ පුද්ගලයා කිසියම් පිරිසක් විසින් පහර දී වෑන් රථයකින් පැහැරගෙන ගොස් තිබුණි. එහිදී ඔවුන් පෞරාණික වටිනාකමක් ඇති කඩුවක් සම්බන්ධයෙන් ඔහුගෙන් විමසා තිබේ. අනතුරුව මොහුව කොළඹ ඔරුගොඩවත්ත ප්‍රදේශයට රැගෙන ගොස් ඔහු විසින් විකුණා තිබූ අදාළ කඩුව එය මිලදී ගත් පුද්ගලයාගෙන් නැවත ලබා ගැනීමට අදාළ පිරිස කටයුතු කර තිබුණි.
අනතුරුව පැහැර ගැනීමට ලක් වූ හේමන්ත රාජපක්ෂ නම් පුද්ගලයා තමා පැහැරගත් පිරිසෙන් මිදී ගම්පොල පොලීසිය වෙත පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කරන ලදී .
ඒ අනුව ඔහුගෙන් ලද තොරතුරු මත පැහැර ගැනීම සඳහා යොදාගත් වෑන් රථය හා කඩුව සමඟින් සිද්ධියට අදාළ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ මෙම කඩුව පෞරාණික වටිනාකමකින් යුක්ත එකක් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන බවයි .
