කුණු ගොඩක තිබු පවුම් 8 ක රන් භාණ්ඩ සොයා නැවත අයිතිකරුට ලබාදීමට යාපනය, චාවකච්චේරි නගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවන් පිරිසක් කටයුතු කර තිබූ බව වාර්තා වේ.
යාපනය, චාවකච්චේරි, මණ්ඩුවිල් ප්‍රදේශයේ නිවසක හිමිකරුවෙකු තමන් සතුව තිබු රන් භාණ්ඩ සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා එම භාණ්ඩ පරණ රෙදි කැබැල්ලක ගැට ගසා නිවසේ කුණු දමන ස්ථානයක සඟවා තබා තිබේ. නමුත් නිවැසියන් විසින් පසුගිය 20 වනදා අවධානයක් නොමැතිව අදාළ රන් භාණ්ඩ ගැට ගසා තිබු පැරණි රෙදි කැබැල්ල ද කුණු ගොඩට විසිකර තිබේ.
පසුව ඒ පිළිබඳව මතක් වී CCTV පරීක්ෂා කිරීමේ දී නිවසේ කුණු රැගෙන ගිය ට්‍රැක්ටරය පිළිබඳ තොරතුරු සොයාගෙන තිබේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් නිවැසියන් විසින් නගර සභා සනීපාරක්ෂක සේවකයින් හට දැනුම් දී තිබේ. එම අවස්‍ථාවේ දී වහාම ක්‍රියාත්මක වූ සනීපාරක්ෂක කම්කරුවන් අදාළ ස්ථානයෙන් කුණු ගෙනැවිත් , කුණු දැමූ ස්ථානය පරීක්ෂා කොට රන් භාණ්ඩ ගැට ගසා තිබු රෙදි කැබැල්ල සොයාගෙන තිබේ.
අදාළ රෙදි කැබැල්ලේ ගැට ගසා තිබූ රන් පවුම් 8ක රන් භාණ්ඩ එහි තිබී සොයා ගැනීමට හැකිව ඇති අතර අදාළ රන් භාණ්ඩ නැවත අයිතිකරුට ලබාදීමට නගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවන් කටයුතු කර තිබේ.
මෙහිදී කිසිදු වංචාවක් නොකර සනීපාරක්ෂක කම්කරුවන් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ජනතාව සිය ප්‍රශංසාව පළ කරන ලදී.
