අවුරුදු 03ක දැරියක් ජාත්‍යන්තර වාර්තාවක් තබයි.

ලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් තත්පර 66කින් හදුන්වාදී ජාත්‍යන්තර වාර්තාවක් තැබීමට හැටන් කොටගල ප්‍රදේශයේ අවුරුදු 03ක් වයසැති දැරියක් සමත් වී ඇත.

ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන International Book Of Records නැමැති ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවීම සදහා අන්තර්ජාලය ඔස්සේ එම දැරිය ඉකුත් අප්‍රේල් මස 06 දින ඉදිරිපත් වී ඇත.

සෙන්තුල් කුමාර් භවිෂනා (03) නැමැති එම දැරිය පරිගණකයෙන් ලෝක රාජ්‍ය නායකයින්ගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් විනාඩියයි තත්පර 06 ඇතුළත ප්‍රකාශ කරමින් අදාළ වාර්තාව තැබූ බව එම දැරියගේ පියා වන සෙන්තුල් කුමාර් පවසයි.

තම දියණිය විසින් ජාත්‍යන්තර වාර්තා පොතේ වාර්තාවක් පිහිටුවීම හේතුවෙන් ඇයට හිමි සහතිකය සහ පදක්කම තම දැරිය වෙත එවා ඇති බවද ඔහු කීය.

කොටගල ඩ්‍රෙටන් වතුයායේ පදිංචි තමා කොටගල තැපැල් කාර්යාලයේ සේවය කරන බවත් බිරිඳ ගුරු වෘත්තීයේ නියැලී සිටින බවත් කී ඔහු වාර්තාව පිහිටවනු ලැබුවේ තම වැඩිමහල් දියණියද බව ප්‍රකාශ කළේය.

කොටගල ප්‍රදේශයේ තුන් හැවිරිදි දැරියක් ජාත්‍යන්තර වාර්තාවක් තැබීම සම්බන්ධයෙන් කොටගල වෙළද සංගමයේ සභාපති විශ්වනාත් පුෂ්පා ඇතුළු වෙළද සංගමයේ සාමාජිකයින් ඇගේ නිවසට ගොස් උපහාර දැක්වීමක්ද සිදුකරනු ලැබීය.

(ලංකාසර)

Exit mobile version