ළමුන් අතර පැතිර යන ඇස් රෝගයක්.

කොළඹ අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් අතර ඇස් රෝගය සීග්‍ර ලෙස පැතිර යන බවට කලාප අධ්‍යාපන කාර්යාලය අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

කොළඹ කලාප අධ්‍යක්ෂ පී.ආර්. දේවබන්දු සියලු විදුහල්පතිවරුන්ට ලිපියක් යොමුකරමින් ප්‍රකාශ කරන්නේ ඇස් රෝගය වැලදී ඇති සිසුන් සිටී නම් වහාම පාසල අයත්වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කර නිර්දේශ ලබා ගන්නා ලෙසයි.

තවද එසේ පාසලේ ඇස් රෝගය වැලඳී ඇති සිසුන් සිටිනම් අනෙක් සිසුන්ගෙන් වෙන් කර තබා ගන්නා ලෙසද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දී තිබේ.

මේ ආකාරයට විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත්තේ කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ හය ,හත, අට ‍‍ශ්‍රේණිවල සිසුන් ඇස් රෝගයට ගොදුරුවීම හේතුවෙනි.

මෙම අක්ෂි රෝගය වැලඳුණු සිසුන් තිස් පස්දෙනකු පමණ එම පාසලේ සිටි බවත් ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල නිර්දේශ මත හය ,හත, අට ‍‍ශ්‍රේණි මෙම සතියේ වසා දැමිමට කටයුතු කළ බවත් කොටහේන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පැතුම් කොඩිකාර මහතා ප්‍රකාශ කර තිබේ.

ඇස් රෝගය දින තුනක පමණ කාලයක් පවතින බවත් ළමුන්ගේ ඇස් රතු වී කැසීමක් සිදුවන්නේ නම් නිවසේදී ප්‍රතිකාර නොගෙන වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසද වෛද්‍යවරයා දෙමාපියන්ට දැනුම් දී තිබේ.

මේ වනවිට ළමුන් අතර මෙන්ම වැඩිහිටියන් අතරද මෙම අක්ෂි වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බව සදහන්.

එම නිසා ඒ පිළිබඳවද අවධානයෙන් සිටීම වැදගත්වන අතර අක්ෂි රෝගය වැලඳුණු පුද්ගලයකුගේ කඳුළු මගින් අනෙක් පුද්ගලයන්ටද ඉතා ඉක්මනින් වෛරසය ව්‍යාප්ත වන බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කර තිබේ.

සාමාන්‍යයෙන් අක්ෂි රෝග වැලඳීම සිදුවන්නේ උෂ්ණ අධික කාලයක වුවද පසුගිය වැසි සමයේ මෙම අක්ෂි වෛරසය ව්‍යාප්ත වීම විශේෂත්වයක් බවද වෛද්‍යවරු පෙන්වා දෙති.

Exit mobile version