ව්‍යාජ ලේඛන සකස්කොට ඒවා ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කළ ලේඛන ලෙස හුවා දක්වමින් මෙරටට ඖෂධ ගෙන්වූ සමාගමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.
එහි නිලධාරීන් අද (11) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ, බාල ඖෂධ රටට ගෙන්වන බවට දිගින් දිගටම සිය අධිකාරියට චෝදනා එල්ල වුවත් ඖෂධ මිලදී ගැනීමට අදාළව කිසිදු බලයක් තමන්ට නොමැති බවයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ නීතීඥ මනෝජ් ගමගේ මහතා,
“හැම ප්‍රශ්නෙකටම මුල ඖෂධ නියාමන අධිකාරිය කියනවා. මේක වැරදි තත්ත්වයක්. ඖෂධ මිලදී ගැනීමට අදාළව කිසිදු බලයක් අධිකාරියට නැහැ. ඇතැම් ඖෂධ නිසා රෝගීන් කිහිපදෙනෙක් මියගියා. අපි ඒ ගැන කනගාටු වෙනවා. ඖෂධ ගෙනාවේ නැත්නම් බොහෝ මරණ වෙන්න තිබුණා. අපිට අධාර මත යැපෙන්න සිදුවුණා. අමාත්‍යාංශය හදිසි මිලදී ගැනීම්වලට ගියා. ඒවාට අවසර ලබාදෙන්න අපිට සිදුවුණා. දැන් ඖෂධයක් ගෙන්වීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුවෙලා තියෙනවා. ව්‍යාජ ලේඛන සකස් කරලා මේක කරලා තියෙන්නේ.”
