තරුෂිගේ අයියා හර්ෂට එදා ආසියානු යොවුන් මලළ ක්‍රීඩා තරඟයට යන්න දඹගොඩපිටිය ගමේ මිනිස්සු උදව් කළ හැටි තරුෂිගේ පියා නිලාන් කරුණාරත්න මෙනෙහි කරයි!
තරුෂි කරුණාරත්න,ඇය මේ වන විට ආසියාවේ වේගවත්ව ක්‍රීඩිකාව ලෙස කිරුළු පළඳා අවසන් ය.
මුළු ලෝකයම තරුෂි ගැන කතා කරද්දී kandy prime news අපි මේ සුපිරි ක්‍රීඩා තාරකාවියගේ වගතුග සොයා ගෙන ගියෙමු.තරුෂිගේ පියා නිලාන් කරුණාරත්නය.ඔහුද පාසල් සමයේ දක්ෂ මලළ ක්‍රීඩකයෙකි..මව නිලූෂිකා දිල්රුක්ෂිය. තරුෂි පිටුපසින් සිටි යෝධ සෙවනැලි ඔවුන් ය.
උඩුදුම්බර දඹගොඩපිටිය නම් සුන්දර ගම් පියසේ හැඳී වැඩුණු තරුෂි මලළ ක්‍රීඩාවට පිවිසෙන්නේ උඩුදුම්බර චූලාභය මහා ව්දුහලෙනි.එම පාසලේ ඇගේ පළමු ක්‍රීඩා භාර ආචාර්ය වරිය වන්නේ පුෂ්පා කුමුදුනී මහත්මියයි.තරුෂිගේ ක්‍රීඩා හැකියාවන් මැන්වින් තේරුම් ගන්නා ඇය එම පාසලේ ඇයට පෙර ක්‍රීඩා පුහුණු කරු ලෙස කටයුතු කළ සුසන්ත ප්‍රනාන්දු මහතාට තරුෂිව යොමු කිරීම තරුෂි ලැබූ මේ ජයග්‍රහණයක් සැබෑ ආරම්භයයි.
තරුෂිගේ පවුල ක්‍රීඩා පවුලකි.ඇගේ වැඩිමහල් සහෝදරයා හර්ෂ කරුණාරත්න ය.ඔහු ද මලළ ක්‍රීඩාවෙන් ශ්‍රීලංකාවට ගෞරව රැසක් ලබා දුන් ක්‍රීඩකයෙකි.ඇගේ බාල සොහොයුරියද මලළ ක්‍රීඩාවට උපන් හපන්කම් දක්වයි.වලල මධ්‍ය මහා විදුහලේ 7 වැනි වසරේ ඉගෙනුම ලබන ඇය මීටර් 100 -80 ඉසව්වේ වත්තේගම අධ්‍යාපන කළාපයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කිරුළ හිමි කරගෙන සිටී.
අපි තරුෂිගේ පියාගේ කතාවට සවන් දෙමු.
“අපි උඩුදුම්බර දඹගොඩපිටිය ගමේ උපන් අය. කුඹුරේ නියරේ කැලේ ගහ කොළ,සතා සීපාවගේ සුවද හඳුනන මිනිස්සු.මගේ දුව මුලින් පාසල් ගියේ උඩුදුම්බර චූලාභය මහා විදුහලට.ඇගේ මලළ ක්‍රීඩා දස්කම් මුලින්ම මතු වන්නේ එම පාසලේදී .ඇගේ මුල්ම ක්‍රීඩා උපදේශිකාව වුණේ එම පාසලේ ක්‍රීඩා කටයුතු භාරව සිටි පුෂ්පා කුමුදුනී මහත්මියයි.ඇය තමයි මගේ දුවව සුසන්ත සර්ට හදුන්වා දෙන්නේ.තරුෂි දුවගේ ක්‍රීඩා ජීවිතය වෙනස් වෙන්නේ ඇය කළ ඒ කැප කිරීම නිසා බව මම මේ මොහොතේ එම ගුරුමහත්මියට ගරු කිරීමක් ලෙස මතක් කළ යුතුයි .පසුව ඇය කෙන්ගල්ල මහා විදුහලට ඇතුළත් කිරීමට අපි කටයුතු කළා.අපිට ආසන්නම හොදම මලළ ක්‍රීඩා පිටිය තිබෙන්නේ දිගන නිසයි අපි කෙන්ගල්ලට එන්නේ.එහිදී දැක්වු කුසලතා නිසා ඇයට වලල ක්‍රීඩා පාසලට ඇතුළත් වීමේ අවස්ථාව හිමි වෙනවා.
මගේ දරුවෝ මලළ ක්‍රීඩාවෙන් දස්කම් දක්වමින් මෙතෙක් ආ ගමන් මඟ ගැන මට විශාල සතුටක් ඇති වෙනවා.මේ ගමන් මඟ ඉතා දුෂ්කරතා මැද පැමිණි ගමනක්.මගේ ලොකු පුතා හර්ෂට මුලින්ම ක්‍රීඩාවට රට යන්න සල්ලි තිබුණේ නැහැ .අපේ ගමේ සියලු දෙනාම එකතු වෙලා තමන්ගේ අතේ තිබුණ මුදල් පුළුවන් විදියට දීලා තමයි.අපිව රට යැව්වේ. ගමේ පන්සලේ හාමුදුරුවෝ පිරිත් කියලා , ගමේ ලොකු කුඩා සියලු දෙනාම තමනට හැකි පමණ මුදලින් උදව් කරලා තමයි එදා හර්ෂව ජාත්‍යන්තර තරඟයට යැව්වේ .
කවදාවත් ගුවන් යානයක ගිහින් නැති අපි ලංකාව නොපෙනී යන කොට හොඳටම ඇඬුවා: ඒ ඇඩුවේ සතුටට ද දුකටද කියලා මට තාම හිතා ගන්න බැහැ:
“මට මතකයි එක අම්මා කෙනෙක් අනේ පුතේ මගේ අතේ තියෙන්නේ රුපියල් පනහයි,ඒක මම දෙනවා පුතාට තරඟයට යන්න ,කොහොම හරි රට වෙනුවෙන් දිනලා එන්න ඕනෑ කියලා ආශිර්වාද කරලා ඒ මුදල දුන්නේ.ඒ මොහොතේ අපේ ඇස් කඳුලින් පිරුණා මට මතකයි.අපි
කවදාවත් ගුවන් යානයක ගිහින් තිබුණේ නැහැ .කටුනායක ගුවන් තොටෙන් ගුවන් යානයයට නැගලා ශ්‍රීලංකාවෙන් නොපෙනී යන විට අපි හැමෝම ඇඩුවා.ඒ ඇඩුවේ සතුටටද දුකටද කියලා මට තාම හිතා ගන්න බැහැ “
නිලාන් අතීතය මෙනෙහි කළේ අපට හිතන්නට බොහෝ දේ ඉතිරි කරමිනි.
හර්ෂ ආසියානු යොවුන් මලළ ක්‍රීඩා තරඟයෙන් ශ්‍රීලංකාවට රිදී පදක්කමක් දිනා දුන්නා.ඒ අඩිපාරේම ගිය මගේ දුව රටට රන් පදක්කමක් අරන් දුන්නා.මගේ දරුවෝ තුන් දෙනාම තාමත් පුහුණු දිගන මලළ ක්‍රීඩා පිටියේ.සුසන්ත සර් කියන්නේ මගේ දරුවා ශ්‍රීලංකාවේ අනාගත ඔලිම්පික් බලාපොරොත්තුව කියලා.
දරුවන්ගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් වියදම් කරන්න මුදල් නැති නිසා පදිංචි නිවස විකුණන්න තීරණය කළා!
“මගේ දරුවන්ගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් වියදම් කරන්න මුදල් නැති නිසා.මම ඉන්න නිවස පවා විකුණනවා කියලා තීරණය කරලා තිබුණා .මගේ දුවගේ මේ ජයග්‍රහණය සමඟ දැන් මට විශාල සහයෝගයක් හැම අංශයෙන්ම ලැබෙනවා. රජයෙන් මෙන්ම පුද්ගලික අංශයෙන් ද අපිට අතහිත දෙන්න පොරොන්දු වෙලා තිබෙනවා .
තරුෂිට ක්‍රීඩා පුහුණු කටයුතු වලදී විවිධ බාධක ආවා.ඒ දේ ගැන හිරු,දෙරණ,ස්වර්ණවාහිනි, kandy prime රාවණා ලංකා වැනි බොහෝ මාධ්‍ය පෙනී සිටියා.එම මාධ්‍ය ආයතන දුන් සහයෝගය නිසා බොහෝ දෙනෙකුගේ ඇස් ඇරුණා.ඒ මාධ්‍ය ආයතන සියල්ලටම උදව් උපකාර කළ සියලු දෙනාටම මගේ ගෞරවය පුද කරනවා.
තරුෂිගේ ජයග්‍රහණයේ නියමුවා සුසන්ත ප්‍රනාන්දු මහතා කියන්නේ මෙවැන්නකි.
“මේක අපි සතුටු වෙනවා වගේම ලෝකය දින්නා කියලා හිතන්නේ නැහැ. තරුෂි වුනත් එහෙම හිතන්නේ නැහැ. ඒ මනස හැදිලා තියෙන්නෙත් ඒ විදිහට. ඒ නිසා අපි බොහොම පරිස්සමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.” තරුෂිගේ පුහුණු කරු සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි . තරුෂි හට ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයකින් ශිෂ්‍යත්වයක් හිමිව ඇති බවත් ලබන වසරේදී ඇය එරට බලා යනු ඇති බවත් ඔහු BBC ලෝක සේවයට පවසා තිබුණි .
“තරුෂි ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයටත් දක්ෂ කෙනෙක්. ඇය මෙවර උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටිනවා. විභාගය ජනවාරි මාසයට කල් ගිය එකත් හොඳයි ඇයට.”
“ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ඇය පෙන්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක් ඇයට ශිෂ්‍යත්වයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මගේ නම් බලාපොරොත්තුව ඒ ශිෂ්‍යත්වය කරා යැවීමට.”
“මොකද එයාලා ගොඩක් ආර්ථික අපහසුතා මැද තමයි මේ ගමන ආවේ. ඇයගේ දෙමව්පියෝ ලොකු කැපවීමක් කරනවා. ඉතින් තරුෂි ජයගන්නවා වගේම ඇයගේ දෙමව්පියන් සහ පවුලේ අයත් ජය ගන්න ඕන. අධ්‍යාපන කටයුතු කරගෙන, ක්‍රීඩාව නතර කරන දවසට ආර්ථිකයත් ශක්තිමත් කරගෙන, පවුලේ අයවත් හොඳින් තියන්න පුළුවන් තැනකට ඇය එන්න ඕන කියලා.ඒ නිසා බලාපොරොත්තු වනවා ලබන වසරේදී ඇයට ඒ ගමන යන්න යෑමට අවශ්‍ය සුදානම ලබා දෙන්න. මොකද අපේ කියලා ඇයව රටේම තියා ගන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ.
ජනපතිගෙන් සුබපැතුම්
ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්න ශිෂ්‍යාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිරිනැමීය.
ඊයේ (05) පෙරවරුවේ දුරකථන මාර්ගය ඔස්සේ එම සිසුවිය සම්බන්ධ කර ගත් ජනාධිපතිවරයා ඇයගේ දක්ෂතා ඇගයීමට ලක් කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇය ජාත්‍යන්තරයේ දී අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණය මෙම අවස්ථාවේ රටට මහත් ආඩම්බරයක් බව පැවසූ ජනාධිපතිවරයා ඇයගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය ද පළ කළේය.
එසේම තරුෂි කරුණාරත්න සිසුවිය දිවයිනට පැමිණි පසුව ඇය හමුවීමට අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
මෙම ජයග්‍රහණයත සමඟ එදා ඇය වෙනුවෙන් නොසිටි බොහෝ පිරිසක් අද ඇය වෙනුවෙන් පෙරට පැමිණෙමින් සිටිති.කුමන තත්ත්වයක් යටතේ වුවද රට වෙනුවෙන් රටේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් එය ඉතා හොඳ ප්‍රවණතාවයකි..වාද භේද ඉවතලා දක්ෂ ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර තලයට ඔසවා තබන්නේ කෙසේද කියා මෑතකදී රටට හොඳම පණිවිඩය ලබා දුන්නේ තරුෂි කරුණාරත්නය.ඒ මෙරට පාසල් මට්ටමේ සිට පළාත් සභා හරහා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය දක්වා දම්වැලක් ලෙස බැඳුණු එහෙත් තැන් තැන් වල පුරුක් ගැළවුණු ශ්‍රීලාංකිය ක්‍රීඩාව නම් යෝධ දම්වැල යම් තාක් දුරකට යළි යථා තත්ත්වයට ගෙන එන්නට තරුෂිගේ මේ ජයග්‍රහණයට හැකි වී ඇත .මෙරට සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රාර්ථනා සුළු වශයෙන් හෝ මල්එල ගැන්වීමකි.
ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් පාසැල් ක්‍රීඩිකාවන්!
තරුෂි කරුණාරත්න වාර්තා පොත් අතරට එක්වන්නේ ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් දිනා දුන් තෙවන ක්‍රීඩිකාව ලෙසය.
මීට පෙර ආසියානු ක්‍රීඩා උළෙල දෙකකදී පාසැල් යන වයසේ පසුවු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දිනා දීමට සමත් වී තිබේ.
1994 සහ 1998 වසරවලදී පිළිවෙලින් දමයන්ති දර්ශා සහ ශ්‍රියානි කුලවංශ මෙලෙස ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දිනා දීමට සමත් විය.
ඉතිහාසය අලුත් කළ තවත් පදක්කම් දෙකක්
මේ අතර ( ඔක් 04 වෙනිදා) ආසියානු ක්‍රීඩා උළෙලේදී පැවති කාන්තා සහ පිරිමි සහය ධාවන ඉසව් ද්විත්වයෙන් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
එහිදී මීටර් 400 x 4 ධාවන ඉසව්වේ දී ශ්‍රී ලංකා කණ්ඩායම, එම තරගය මිනිත්තු 03 යි තත්පර 30 දශම 8 යි 8 කින් නිමා කරමින් සිය පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය.
ආසියානු ක්‍රීඩා උළෙලේ සහය දිවීමේ කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාව පදක්කමක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක්වෙයි.
මේ අතර පිරිමි මීටර් 400 x 4 සහය දිවීමේ ඉසව්වේ දී මිනිත්තු තුනයි තත්පර 02 යි දශම 5 යි 5 කින් තරගය අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි සහය දිවීමේ ඉසව්වෙන් පදක්කමක් ජයග්‍රහණය කරනු ලැබුවේ 2006 වසරෙන් පසුව වීමද විශේෂත්වයකි.
සරත් සමරනායක.