හැටන් ලංගම ඩිපෝව තුල පවතින රියදුරු හා කොන්දොස්තර හිගය උග්‍ර තත්ත්වයට පත් වීමත් සමග එම ඩිපෝවේ බස් ධාවන කටයුතු අඩාල විමේ අවදානමක් හටගෙන ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව සිදු කරන ලද විමසීමකදී අදහස් දැක්වූ එම ඩිපෝවේ උසස් නිලධාරියකු පවසන ලද්දේ මෙම ඩිපෝව තුල මේ වන විට රියදුරන් 25ක් හා කොන්දොස්තරවරු 27ක හිගයක් පවතින බවයි.
මෙම ඩිපෝව තුල බස් රථ 105ක් බවත් එයින් බස් රථ 93ක් දිනපතා ධාවනය කරවීමට කාල සටහන් සකස් කර තිබුණද පවතින රියදුරු හා කොන්දොස්තර හිගය මත දිනකට ධාවනය කරවීමට හැකිවනුයේ බස් රථ 80ත් 84ත් ප්‍රමාණයක් බව සදහන්.
මෙම බස් රථ ප්‍රමාණයද ධාවනය කරවීමට හැකිවනුයේ දැනට සේවයේ යෙදි සිටින රියදුරු කොන්දොස්තර මහත්වරුන්ගේ නිවාඩු කප්පාදු කිරිමෙන් බවත් මෙම තත්ත්වයන් මත දිනපතා බස් රථ 10ක් 12ක් ධාවනය කරවීමට නොහැකි විමෙන් තම ඩිපෝවට ලබා ගත හැකි විශාල ආදායමක් අහිමි වන බවද ඔහු පැවසිය.
එමෙන්ම ඉදිරියේදි ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ වන බවත් පවතින මෙම රියදුරු කොන්දොස්තර හිගය මත ශ්‍රිපාද වන්දනා සමය තුලදි ශ්‍රිපාද වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා බස් රථ නිසි ලෙස යෙදවිමෙදි දැඩි ගැටළුකාරි තත්වයක් මතු විය හැකි බවද ඔහු පවසන ලදි.
මෙම ඩිපෝව තුල පවතින මෙකි රියදුරු කොන්දොස්තර හිගය පිළිබඳව අදාල බලධාරින් වරින් වර දැනුවත් කර ඇති බවත් එහෙත් මේ වන තෙක් එම හිගය පියවීමට එකි බලධාරින් ක්‍රියා කර නොමැති බවත් තම ඩිපෝවට අවශ්‍ය රියදුරු කොන්දොස්තරවරුන් නිසි ලෙස ලබා දෙන්නේ නම් තම ඩිපෝවට විශාල අදායමක් දිනපතා ලබා ගැනිමට හැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
