බාල අපරාධකරුවෙකු අත්අඩංගුවට.

වයස අවුරුදු 15ක දැරියක් දූෂණය කළ සිද්ධියක් සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයකු මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල, දෙමටපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු වන අතර ඔහු පින්තාරුකරුවකු ලෙස රැකියාව සිදු කර තිබෙන බව සඳහන්.

පොලීසිය සඳහන් කරන්නේ මෙම දැරියගේ මව සහ පියා නොමැති බවත් ,  ඇය සිය මිත්තණිය සමඟ ජීවත් වී ඇති බවත් ,  තම භාරයේ සිටි මිනිබිරිය අතුරුදහන් වී ඇති බවත් , ඇය ලුණුවිල ප්‍රදේශයේ නිවසක සිටින බවත් පවසා වයස අවුරුදු 71ක අදාළ මිත්තණිය පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇති බවයි.

ඇය ප්‍රදේශයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් බව සඳහන්.

ඒ අනුව කරන ලද සොයා බැලීමකින් අනතුරුව දැරිය පොලිස් භාරයට ගෙන  සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ දැරිය පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ සැකකරු තමන් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා ගෙන ගිය බවත් , මීට මාස 06කට පමණ පෙර දිනයක දී ඔහු තමන් පදිංචි කටුනේරිය නිවසේ දී තමා සමඟ අඹු – සැමි ඇසුරක් පැවැත්වූ බවත් , පාසල් යාමට අවශ්‍ය නිල ඇදුම් සඳහා රෙදි මිල දී ගැනීමට බව පවසා දැරිය සිය පෙම්වතා සොයා ඔහුගේ නිවසට ගිය බවත් ය.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු මාරවිල පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version