වකුගඩු සැත්කමෙන් දිවි අහිමි වූ දරුවා පිළිබඳ මහේස්ත්‍රාත් නියෝගයක්.

වකුගඩු ශල්‍යකර්මයකින් පසුව පසුගියදා රිජ්වේ ආර්යා ළමා රෝහලේදී තුන් හැවිරිදි දරුවෙක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා යොමු කළ වාර්තාවේ පරස්පරතා සහ අපැහැදිලි තැන් පවතින බැවින්, සියලුම වෛද්‍ය වාර්තා පදනම් කරගෙන පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය බොරැල්ල පොලිසියට නියෝග කර ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් පැවති විමර්ශනයේදී නීතීඥ සහ විශේෂඥ වෛද්‍ය වයි. එල්. එම්. යූසුෆ් විසින් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමකට අනුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කර තිබේ.

එම දරුවාට වකුගඩු දෙකක් තිබූ බවත්, සැත්කමේදී වකුගඩු ඉවත් කළ බවත්, ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා තහවුරු කර ඇතැයි වෛද්‍ය යූසුෆ් විසින් සිය කරුණු දැක්වීම්වලදී මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන් බව සදහන්.

එමෙන්ම දකුණු වකුගඩුව සාමාන්‍ය පරිදි ක්‍රියාකර ඇති බවද එම වාර්තාවලින් තහවුරු වී තිබුණද, කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයාගේ වාර්තාවේ සඳහන් වී තිබුණේ දරුවාට ඇත්තේ එක් වකුගඩුවක් පමණක් බවයි.

එසේම මීට පෙර දරුවාට උග්‍ර වකුගඩු රෝගයක් වැළඳී ඇති බව වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන ඇති අතර, වම් වකුගඩුව ඉවත් කිරීමට ඔවුන් නිර්දේශ කර තිබේ.

ඒ අනුව, ශල්‍යකර්මය සිදුකළ වෛද්‍ය නලීන් විජේකෝන් විසින් දරුවාගේ නිරෝගී දකුණු වකුගඩුව ඉවත් කර ඇති බව සදහන්.

මෙහිදී ශල්‍යකර්මයෙන් පසු වම් වකුගඩුව පමණක් මාපියන්ට පරීක්‍ෂා කිරීම සඳහා ලබා දී ඇති බවත්, දකුණු වකුගඩුව ඔවුන්ට පෙන්වා නොමැති බවත්, වෛද්‍ය යූසුෆ් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

එබැවින් සමස්ත සිද්ධියම සැක සහිත වන අතර, මේ සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියට නියෝග කරන ලෙසට වෛද්‍යවරයා ඉල්ලා සිටී.

ඒ අනුව, අධිකරණ වෛද්‍ය නිළධාරීවරයාගේ වාර්තාව මත පමණක් රඳා නොසිට හෙළිදරව් වී ඇති සියලුම කරුණු සහ සාක්ෂි පදනම් කරගෙන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසට මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කර තිබේ.

මෙම දරුවා පිළිබඳ අප වාර්තා කළ පුවත් පහතින්,

Exit mobile version