විපක්ෂ නායක සහ ජූලි චන්ග් අතර හමුවක්.

ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද (2) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණු බව වාර්තා වේ .

මේ අවස්ථාවට ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී මැතිව් හින්සන් ද සහභාගී වී තිබේ .

එහි දී දෙපාර්ශ්වය අතර වත්මන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා ජනතාව පීඩාවට පත්ව ඇති අයුරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිවරිය ඇතුළු පිරිස දැනුවත් කරන ලදී .

එමෙන්ම වත්මන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරමින් නියමිත දිනට පැවැත්වීමට සැලසුම් කර තිබූ මැතිවරණ කල් දැමීමත් ජනතාව මර්දනය කරමින් ගෙන ඒමට උත්සාහ කරන විවිධ පනත් සම්බන්ධයෙන් ද දැනුවත් කරනු ලැබීය.

මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා ද සහභාගී වූ බව වාර්තා වේ .

Exit mobile version