වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ , ඇතිලිවැව ප්‍රදේශයේ දී මොනරාගල සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකට පහරදීමක් සිදු වී ඇති බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට ඇතිලිවැව ප්‍රදේශයේ දී බස් රථය නවත්වා පොලු මුඟුරු රැගත් පිරිසක් බස් රථයට ඇතුළු වී බස් රථයේ රියදුරුට හා කොන්දොස්තරවරයාට පහර දී ඇති අතර එම ප්‍රහාරයන් බස් රථයේ සිටි මගීන් පිරිසකට ද එල්ල වී තිබේ.
බස් ධාවනයේ දී ඇති වු ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදු වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු විසින් කුඩාඔය පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබේ.
මෙම සිදුවීමට විරෝධය පළ කරමින් ඊයේ (28) මොනරාගල – මාතර පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් වී තිබූ අතර අද (29) උදෑසන සිට මාතර – මොනරාගල බස්රථ යළි ධාවනයට එක්කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කුඩාඔය පොලීසිය විසින් සිදු කරනු ලබයි.
