මහනුවර පාසලේ වධක ගුරුවරුන් යළි බන්ධනාගාරගත කිරීමට පොලීසියෙන් මෝසමක්.

මහනුවර බොක්කාවල මොරන්කන්ද ප්‍රදේශයේ  නේවාසිකව අධ්‍යාපන කටයුතු සිදු කිරීම සදහා පහසුකම් සලසන පෞද්ගලික පාසලක අධ්‍යාපන ලබමින් සිටි ළමුන් පිරිසකට අමානුෂික ලෙස පහර දී වධ හිංසා සිදු කළ බව කියන සිද්ධිය සමබන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියදී මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි විසින් ඊයේ (15) ඇප මත මුදා හැරීමට නියෝග කළ විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු හය දෙනා කැදවා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහනුවර පොලීසිය විසින් අද (16) අධිකරණය හමුවේ මෝසමක් ගොනු කිරීමට සූදානම් වේ.

මෙම ඇප ලබා දීම සිදු වී ඇත්තේ ළමා හා කාන්තා කාර්‍යාංශය නොවිමසා පොලීසිය නොකැදවා බව දැනගත් පසු මහනුවර පොලිස් ප්‍රධානීන් එක් වී කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීන්දුව පොලීස් පාර්ශවයෙන් ගෙන තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත සිටි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු ඊයේ (15) පොලීසිය ද නොකැදවා ඔවුන්ට ඇප ලබා දීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා පියවර ගෙන තිබීම විවාදාපන්න විය.

ඇප මත මුදා හරිනු ලැබූ සැකකරුවන්ට යළිත් මෙම මස 20 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙලෙස ඇප නියම කරනු ලැබුවේ පී.ඩබ්ලිව්.සුජීව සම්පත් ලේකම්ගේ , එච්.ජී. නුවන් ප්‍රදීප් පෙරේරා , පී.ජී. පියතිස්ස , ශාන්ත බණ්ඩාර දිසානායක , හිමාෂි හංසිකා ගුණසේකර , කේ. ඩබ්ලිව්. ප්‍රසාංග මොනෝජා දිල්හාරා නැමැති අයටය.

(ලංකා සර )

Exit mobile version