දකුණු චීන මුහුදේ මතභේදකාරී දිවයින් ඇතුළු එහි සාගර ප්‍රදේශයෙන් 80%ක්ම තමන්ට හිමි බවට දක්වන නව සිතියමක් චීනය විසින් එළිදක්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් දකුණු චීන මුහුදේ සිය අයිතිය කියාපාන රටවල් රැසක්ම විරෝධය දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විශේෂයෙන් අග්නිදිග ආසියාතික රටවල් කිහිපයක මුහුදු සීමාවට අයත් දූපත් සඳහා ද චීනය සිය අයිතිය සඳහන් කර ඇති අතර එසේ සම්පත් බහුල බවට සැලකෙන ස්පාට්ලි සහ පාර්සල් දිවයින් සිය නීත්‍යනුකූල මුහුදු සීමාවේ පවතින බව චීනය මෙම සිතියම මඟින් දක්වා තිබේ.
මේ සම්බන්ධයෙන් වියට්නාමය සඳහන් කර ඇත්තේ 1947 වසරේ සිතියමක් උපයෝගී කරගනිමින් චීනය එළිදක්වා ඇති දකුණු චීන මුහුදේ නව සිතියම තම රටේ ස්වෛරී සාගර අයිතිය උල්ලංඝණය කරන බවත් , එය අවලංගු සිතියමක් බවත් ය.
පිලිපීනය, තායිවානය සහ මැලේසියාව ද චීනයේ නව සිතියම ප්‍රතික්ෂේප කර ඇති අතර, එම සිතියමට අනුව ඉන්දියාවේ අරුනාචල් ප්‍රාන්තයට අයත් ප්‍රදේශයක් ද චීනය පාලනය යටතේ පවතින බවට දක්වා ඇති බව ඉන්දීය බලධාරීන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
