පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළ එම රෝහලේම හෙදියක් අද (26) අත්අඩංගුවට ගත්බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි 32 හැව්රිදි හෙදියකි.
මේ සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය පවසන්නේ පානදුර මූලික රෝහලේ රාජකාරි කරන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි හෙදියක කළ පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි.
පසුගිය ජුනි 29 දා සිය මුදල් පසුම්බිය අස්ථානගතව ඇති බවට අදාළ හෙදිය පැමිණිල්ලක් කර ඇති අතර පැමිණිලිකාර හෙදියගේ ලිපිනයට මීට දින දෙකකට පමණ ඉහතදී පානදුර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් ” ඔබ ලබාගත් රුපියල් 16,000 ක ණය මුදලේ වාරික මුදල් නිසි අයුරින් නොගෙවා නොමැති බවත් , එය ගෙවන ලෙස” සිහි කැඳවන ලිපියක් ලැබීමත් සමගම එම ලිපිය රැගෙන ඇය බැංකුව වෙත ගොස් තොරතුරු සොයා බැලීමේදී ඇයගේ නමින් ණය මුදලක් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ .
ඒ අනුව පානදුර පෞද්ගලික බැංකුවක ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදී එම රෝහලේම තවත් හෙදියක පැමිණ පැමිණිලිකාර හෙදියගේ ලියකියවිලි ඉදිරිපත් කරමින් ගිණුම විවෘත කරන බව නිරීක්ෂණය කිරිමෙන් පසු සැකකාර හෙදිය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .














































