දියේ ගිලී අයෙක් අතුරුදන්.

පාදුක්ක ලියන්වල ප්‍රදේශයේදී දියේ ගිලීමෙන් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ .

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවූ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

වාර්තා වන ආකාරයට හල්කඳවත්ත ප්‍රදේශයේ ඉඩමකින් කෙසෙල් කැනක් කපා සොරකම් කර පළායමින් සිටි තරුණයින් තිදෙනෙකු අතරින් එක් අයෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව තිබේ.

එහිදී ගම්වාසීන් මෙම තිදෙනා පසුපස හඹා යාමේදී දෙදෙනකු හල්කදවත්ත ප්‍රදේශය හරහා ගලා බසින පුස්ඇලි ඔයට පැන පිහිනා යාමට උත්සාහ කර තිබේ. ඒ වනවිටත් ඔයේ ජල මට්ටම වැඩිවී තිබීම හේතුවෙන් ඉන් එක් අයෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ.

ප්‍රදේශවාසීන් විසින් එහිදී අනෙක් පුද්ගලයින් දෙදෙනා අල්ලා පොලීසියට භාරදී ඇති අතර එහිදී සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදීගැනීමට ඔවුන් විසින් මෙලෙස කෙසෙල් කැනක් සොරකම් කර ඇති බවයි.

පොලිස් නාවික කොට්ඨාශය විසින් අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා මෙහෙයුමක් ආරම්භ කළ නමුත් මේ වන තෙක් අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයාගැනීමට නොහැකිව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු මීගොඩ පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version