ඖෂධවලටත් මිල සූත්‍රයක්.

වසර අටක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ ඖෂධ සඳහා වූ මිල සූත්‍රය සකස් කර අවසන් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ සඳහන් වන්නේ ආනයනකරු බෙදාහැරීම හා අලෙවිකරු යන පාර්ශවවල එකඟතාව මත මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

එහෙත් වසර අටක කාලයක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ මිල සූත්‍රය සකස් කළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල කමිටුව එය ඖෂධ ආනයනකරුවන්ට සහ සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයට ලබාදී තිබේ.

එම දෙපාර්ශවය සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දී ඇත්තේ ඖෂධ ශ්‍රී ලංකාවට ගොඩබාන විට වැඩි වූ මුදල සලකා බලා ලාභය හා මිල ප්‍රකාශයට පත්වන බවයි.

ඒ අනුව සෑම සමාගමකටම එක සමාන ලාභයක් ලැබෙන බවද වාර්තා වෙයි.

ඇමරිකානු ඩොලරයක මිල වැඩිවන විට ඖෂධ මිල වැඩි නොවන ලෙසත්, ඩොලරයේ මිල අඩුවන විට පමණක් ඖෂධ මිල වැඩිවන ලෙසත් සලකා මිල සූත්‍රය සකස් කර තිබේ. මෙම මිල සූත්‍රයට එකඟ බවත්, ලැබෙන ලාභය සම්බන්ධයෙන් ගැටලු පවතින බවට ඖෂධ ආනයනකරුවන් සහ ඔසුසල් හිමියන්ගේ සංගමය පෙන්වා දී ඇත.

මේ වනවිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ වර්ග හැටක මිල පාලනය කර ඇති අතර, ඒවායේ වෙළෙඳ නාම අනුව ඖෂධ වර්ග පන්සීයක් පමණ වෙයි.

මිල පාලනයට යටත් නොවූ වෙළෙඳ නාම ඖෂධ වර්ග 6500ක් සඳහා මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට නියමිත බව සදහන්.

දැනට සිදුකරන සාකච්ඡා සාර්ථක වූ පසු මිල සූත්‍රයට අදාළ වාර්තාව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ලට හා අමාත්‍යාංශයට භාරදීමෙන් පසු ලැබෙන අනුමැතියෙන් අනතුරුව ගැසට් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඖෂධ සඳහා මිල සූත්‍රයක් අවශ්‍ය බවට සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා තිබිණි.

Exit mobile version