ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියානු රජයෙන් යෝජනාවක්.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සමඟ ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සම්මන්ත්‍රණයක් ඊයේ (24) පෙරවරුවේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් සිටීවන්ස් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම ඔහු එහිදී  සඳහන් කළේ එමඟින් ශ්‍රී ලංකාවට ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය ඇතුළු රටවල සිසුන් ආකර්ෂණය කරගැනීමට හැකිවන බවයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් සිටීවන්ස් මහතා,

අධ්‍යාපනය දැනටමත් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ශක්තිමත් පුරුකක් වන අතර එය තවදුරටත් වර්ධනය කර ගත හැකියි. ශ්‍රී ලංකා රජයට අපි යෝජනාවක් ඉදිරිපත්කර තිබෙනවා. මෙරට අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්න. මොකද ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ විශාල විදේශීය සිසුන් පිරිසක් ආකර්ෂණය කරගත හැකි ස්ථානයක. ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල ඇතුළු විදේශීය විශ්වවිද්‍යාල මෙහි පිහිටුවා ශ්‍රී ලංකාව අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කළහොත්, ඊට ශ්‍රී ලංකාවෙන් පමණක් නොව දකුණු ඉන්දියාවෙන් සහ ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවලින් මෙන්ම නේපාලයෙන්, බංග්ලාදේශයෙන් පමණක් නොවෙයි අප්‍රිකාවෙන් වුවද ශිෂ්‍ය ප්‍රජාව ආකර්ෂණය කරගත හැකියි. ඒ සඳහා නියාමන වෙනස්කම් ඇතුළු යම් යම් වෙනස්කම් ලංකා රජය විසින් සිදු කළයුතු වනවා. මට විශ්වාසයි ශ්‍රී ලංකාවට ඒ සඳහා විශාල හැකියාවක් පවතින බව.”

Exit mobile version