මන්නාරමෙන් වාර්තාගත මුං ඇට අස්වැන්නක් .

මන්නාරම දිස්ත්‍රික්කය තුළ හෙක්ටයාර 1600 ක භූමි ප්‍රමාණයක අතිරේක වගාවක් ලෙස මුං ඇට වගා කොට ඇති අතර ඉන් බලාපොරොත්තු රහිත විශාල ආදායමක් ලැබී තිබෙන බව වාර්තා වේ.

කුඹුරු වගා කිරීමට තරම් වැව් ජලය නොමැති නිසා එම කුඹුරු වල අතිරේක ආහාර භෝගයක් වශයෙන් මෙලෙස මුං ඇට වගා කර තිබේ.

මේ සම්බන්ධයෙන් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකවරිය ප්‍රකාශ කළේ මුං ඇට කරල් වශයෙන් අලෙවි කිරීමක් සිදු වන අතර එවැනි කරල් මෙට්‍රික් ටොන් 900 ක ප්‍රමාණයක් මන්නාරමේ ගොවීන් සතුව ඇති බවත් , මුං ඇට කරල් කිලෝවක් රුපියල් 800 – 950 ත් අතර මුදලකට අලෙවි කර ගැනීමට මන්නාරමේ මුං ඇට ගොවීන්ට හැකි වී තිබෙන බවත් , මෙම කරල් මිලට ගන්නා මන්නාරමේම කාන්තාවන් දෛනික ජීවනෝපාය මාර්ගයක් ලෙස මුං ඇට කරල් , මුං ඇට බවට පත් කොට එක් දිනකට එක් කාන්තාවක් රුපියල් 4000 – 5000 ත් අතර මුදලක් උපයා ගන්නා බවත් ය .

එමෙන්ම මන්නාරමේ මෙම මුං ඇට වගාව හා මුං ඇට නිෂ්පාදනය වන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කාදර් මස්තාන් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් මන්නාරමට ගොස් තිබෙන බව වාර්තා වේ .

Exit mobile version