දක්ෂිණ අධිවේගයේ කොටසක නායයෑමේ අවදානමක්.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර කොටස වර්ෂාවකදී යළි නායයාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

මෙම ප්‍රදේශයේ කිලෝමීටර් 101 – 102ත් අතර කොටස ඉකුත් 11 වැනිදා රාත්‍රී නායයෑමකට ලක්වූ අතර එම නායයාමෙන් පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන පැවසුවේ එම ප්‍රදේශයේ භූමියේ අස්ථාවරත්වයක් පවතින බවත් , එම අස්ථාවරත්වය හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක් තවදුරටත් වසා තිබෙන බවත් ය.

එමෙන්ම ඔහු සඳහන් කළේ මෙම ප්‍රදේශයේ නායයෑම් අවම කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කරමින් සිටින බවත් , මෙම නායයෑම සිදුවූ කඳු ප්‍රදේශයට ආසන්න කොටසක් මීට පෙර අවස්ථාවකදී ද නායගිය බවත් , ඒ හේතුවෙන් අවට ප්‍රදේශයේ යම් භූමි ප්‍රමාණයක් අස්ථාවරත්වයට පත්ව ඇති බවත් ය.

තවද දැඩි වර්ෂාපතන තත්ත්වයක් ඇතිවුවහොත් ඇතැම් විට මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුවනු ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරන ලදී .

Exit mobile version