සදෙහි නවතම ඡායාරූප පෙළක් .

චන්ද්‍රයාන්-3 මෙහෙයුමේ අවසන් අදියර ආරම්භ වීමත් සමඟ ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය සඳෙහි නවතම ඡායාරූප පෙළක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

වික්‍රම් නැමැති ගොඩ බැසීමේ යානය මෙම ඡායාරූප පෘථිවිය වෙත එවා තිබේ.

වික්‍රම් ගොඩබැසීමේ යානය චන්ද්‍රයා සමීපයට රැගෙන ගිය අභ්‍යවකාශ මොඩියුලයෙන් පසුගිය බ්‍රහස්පතින්දා සාර්ථකව වෙන් වීමත් සමගම චන්ද්‍රයාන්-3 මෙහෙයුමේ අවසාන අදියර ආරම්භ වී ඇති බව සදහන්.

එතරම් ගවේෂණය නොකළ සඳෙහි දක්ෂිණ ධ්‍රැවය වෙත රෝවරය රැගත් වික්‍රම් ගොඩ බැසීමේ යානය ලබන 23 වැනිදා ගොඩ බැසීමට නියමිතව තිබේ.

වික්‍රම් ගොඩබැසීමේ යානය පෘතුවියට එවා ඇති කළු සුදු ඡායාරූප මගින් සඳ මතුපිට ඇති පාෂාණ සහ ආවාටවල සමීප දර්ශන පෙන්වා දෙන බවට ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කරයි.

එවා ඇති එක් ඡායාරූපයක අභ්‍යවකාශ මොඩියුලයද දැක්වෙන බවට ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය පෙන්වා දී තිබේ.

චන්ද්‍රයාන්-3 සහ රුසියාවේ ලූනා-25 මෙහෙයුම් වල අභ්‍යවකාශ යානා දෙක සඳෙහි දක්ෂිණ ධ්‍රැවය මතට ලබන සතියේ ගොඩ බැසීමට නියමිතව ඇති බව සදහන්.

Exit mobile version