අද (09) උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුර හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තා වේ .
ඒ හේතුවෙන් මගී ජනතාවට හා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය දැනුම් දී තිබේ.
ඒ අනුව කොළඹ සිට පස්යාල හන්දියෙන් මීරිගම අධිවේගි මාර්ගය දක්වා ගමන් කරන වාහන පස්යාල හන්දියෙන් ඇතුළුවීමට නොහැකි අතර කොළඹ – මහනුවර මාර්ගය භාවිත කළ හැකි බවත් , දිවුලපිටියේ සිට ගමන් ගන්නා වාහන මීරිගම නගරයෙන් වමට හැරී දංඕවිට හා වරකාපොළ මාර්ගවලට පිවිස කොළඹ – මහනුවර මාර්ගයට පිවිසිය හැකි බවත් , මීරිගම අධිවේගි පිවිසුම් මාර්ගයෙන් පිටවී කොළඹ හා දිවුලපිටිය ප්‍රදේශවලට ගමන් කරන වාහන හද්දාමුල්ල හන්දියෙන් වමට හැරී කොළඹ – කුරුණෑගල මාර්ග අංක 5 මාර්ගයට පිවිස ගමන් කළ හැකි බවත් පොලිසිය දැනුම් දී තිබේ.
අද (09) උදෑසන මීරිගම පොලිස් වසමේ විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේ දී පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක කන්ටේනර් රථයක ගැටී අනතුරක් සිදු වූ අතර එම කන්ටේනර් රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කරන අවස්ථාවේ දී කන්ටේනර් රථය නැවතීම හේතුවෙන් දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ .
කන්ටේනර් රථයේ රියදුරු එම අවස්ථාවේ දී රථය දමා බැස ඇති බවත් , තුවාලකරුවන් කිසිවෙක් නොමැති බවත් සඳහන් වේ.
