අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි යතුරුපැදිකරු පොලීසිය සමග සිදු වූ පොරබැදීමකින් මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම සැකකරු හම්බන්තොට පොලිස් වසමේ කටුවැව හන්දියේදී හෙරෝයින් මිලිග්‍රෑම් 6170ක් ද සමග අත්අඩංගුවට ගෙන හම්බන්තොට පොලීසිය වෙත භාරදීමෙන් පසු හම්බන්තොට පොලීසිය මගින් අවිස්සාවේල්ල පොලීසිය වෙත භාර දෙනු ලැබූ බව සදහන්.
ඉන් පසු අවිස්සාවේල්ල පොලීසිය දින 03ක් රැදවුම් නියෝග ලබාගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටියදී සැකකරුගේ ප්‍රකාශ මත නඩු භාණ්ඩ අත්අඩංගුවට ගැනීම සදහා අද (15) අලුයම අවිස්සාවේල්ල පොලිස් වසමේ මානියංගම,ඇත්පන්තිය පාර ප්‍රදේශයට සැකකරු ගෙන ගොස් තිබේ.
එම අවස්ථාවේදී සැකකරු විසින් ඔහුගේ අත්විලංගුවෙන් විමර්ශණ කණ්ඩායමේ සිටි පොලිස් නිලධාරියෙකුගේ ගෙල සිරකර මරා දැමීමට තැත් කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් එය වැළැක්වීමට උත්සාහ කිරීමේදී නිලධාරියාට සහ සැකකරුට සිදු වූ තුවාල හේතුවෙන් අවිස්සාවේල්ල රෝහල වෙත ඇතුළත් කළ බවට පොලීසිය පවසයි.
එහිදී සැකකරු මියගොස් ඇති බවට පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
එමෙන්ම පොලිස් කොස්තාපල්වරයාද අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවට පොලීසිය පවසයි.
