බස් රථයට යට වී ගුරුවරයෙක් මරුට.

යතුරුපැදියක් සහ බස් රථයක් ගැටීමෙන් අද (22) උදෑසන කොලොන්නාව රජමහා විහාරස්ථානය අසලදී සිදු වූ අනතුරකින් යතුරුපැදියෙහි ගමන් ගත් පුද්ගලයකු බස් රථයට යට වී මියගොස් ඇති බව වාර්තා වේ.

අනතුරින් යතුරු පැදියෙහි ගමන් ගත් හත් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ද බරපතළ තුවාල ලබා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කර තිබේ.

මිය ගිය යතුරු පැදිකරු මෙගොඩ කොලොන්නාව සිට කුප්පියාවත්ත දෙසට සිය දියණිය පාසලට ඇරලවීමට ඇයත් රැගෙන යතුරු පැ⁣දියෙන් යන අතරතුර එම දෙසටම ධාවනය වූ බස් රථය කොලොන්නාව රජමහා විහාරස්ථානය අසලදී එක්වරම වමට හරවා ධාවනය කිරීම නිසාවෙන් යතුරු පැදිය එහි ඇමිණී මීටර් පනහක් පමණ ඉදිරියට ඇදී ගොස් පැදිකරු බස් රථය දෙසට ඇද වැටී එම බස් රථයටම යට වී මියගොස් ඇති බවට සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ආමර් රැස්ති නැමැති 36 හැවිරිදි ගුරුවරයෙකි.

අනතුරින් පසු කෝපයට පත් ප්‍රදේශවාසීන් අනතුර සිදුකල බස් රථයට ගල්ගසා පහර දී දැඩි අලාභහානි සිදු කර ඇති බවත් ප්‍රදේශවාසීන් ගේ පහර කෑමට ලක් වූ බස් රථ රියදුරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය ප්‍රකාශ කර තිබේ.

බස් රථයේ ආරක්ෂාව වෙනුවෙන් බස් රථය මුල්ලේරියාව පොලිසිය වෙත රැගෙන ගොස් ඇති බවද සදහන්.

Exit mobile version