ලෝක පූජිත පඬිරුවනගේ ස්මාරකය අනතුරේ හෙලූ හොරෙක්.

පසුගිය දිනවල මුදල් වංචා චෝදනා නිසා විගණකාධිපතිවරයා විසින් පිංකැට මුද්‍රා තැබු පත්තිනි දේවාලය පිහිටි නවගමුව සුගතබිම්බාරාම පුරාණ විහාර භූමියේ ඇති ලෝක පූජිත පඬිරුවනක වු කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥශේඛර මහනායක හිමියන්ගේ ස්මාරකය ඉබේම ගරාවැටීමට ඉඩ හැර ඇතැයි නවගමුවේ සුරැකීමේ සංවිධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබේ .

එම ස්මාරකය කිසිදු පිළිසකරයක් නොකර තැබීමෙන් පෙනියන්නේ ⁣එය එම ස්ථානයෙන් ඉවත්කර දැමිමේ කුමන්ත්‍රණයක් දියත් කිරීම බවද එම සංවිධානය ජනාධිපතිවරයාට යැවු ලිපියක සඳහන් වේ.

මීට පෙරද මෙම වටිනා ස්මාරකය කඩාදැමීමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන්ගේ විරෝධය නිසා එය වැළකී තිබිණ.

මීට පෙර නවගමුවේ විහාරස්ථානයේ පිහිටි දේවාලවල සිදුවන මහා පරිමාණයේ මුදල් වංචාවන් ගැන නවගමුවේ සුරැකීමේ සංවිධානය කළ පැමිණිල්ලකට අනුව විගණකාධිපතිවරයාගේ උපදෙස් අනුව සියලු පිංකැට වලට මුද්‍රා තැබිණ.

ස්මාරකය විනාශවීමට ඉඩහැරීම සම්බන්ධයෙන් නවගමුව සුරැකීමේ සංවිධානයේ සභාපති චන්ද්‍රසේන පලිහේන හා ලේකම් ජයන්ත ජයලාල් යන මහත්වරුන්ගේ අත්සනින් ජනාධිපතිවරයාට යවා ඇති ලිපිය මෙසේය.

කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පරිවෙිනාධිපති,විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ප්‍රථම සිංහල හා ප්‍රකෘත මහාචාර්ය , නවගමුව සුගතබිම්බාරාම පුරාණ විහාරාධිපති,ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායකව වැඩසිටි අතිපූජ්‍ය කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥශේඛර මහානායක ස්වාමීන් වහන්සේ අපේ රටේ වැඩසිටි අග්‍රගණ්‍ය පඬිරුවනකි.

ඩඩ්ලි සේනානායක එස්.ඩබ්.ආර්.ඩි.බණ්ඩාරනායක,සි.ඩබ්ලිව් .ඩබ්ලිව් .ඩබ්ලිව් .කන්නන්ගර වැනි ශ්‍රේෂ්ඨ නායකයන් සාමාජිකත්වය දැරූ සුරාසුදු විරෝධි මණ්ඩලයේ මෙන්ම අමද්‍යප මහ සභාවේ සභාපති ධුරය දැරුවේද උන් වහන්සේය.එසේම 1950 දශකයේදි රජයෙන් පත්කළ බෞද්ධ කොමිෂන් සභාවේ සභාපති ධුරයද උන් වහන්සේ ඉසුලුහ.

⁣එසේම කාණ්ඩ කීපයකින් හෙබි සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය ඇතුළු පොත් ගණනාවක් උන් වහන්සේ ලියුහ.පොලිසියේ මහජන සම්බන්ධතා අංශය එවකට පොලිස්පති ඔස්මන්ඩ් ද සිල්වා මහතා සමඟ එක්ව ආරම්භ කළේද කළුකොඳයාවේ මහනාහිමියන් විසිනි.

මේ ආදී වශයෙන් සුවිසල් මෙහෙවරක් ඉටුකළ කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥශේඛර මහනාහිමියන් 1977.11.12 වැනි දින අපවත්වීමෙන් පසු නිදහස් චතුරශ්‍රයේදී ආදාහනය කිරීමෙන් පසු උන් වහන්සේගේ හෂ්මාවශේෂ තැන්පත් කර නවගමුව විහාර බිමෙහි ස්මාරකයක් ඉදිකෙරිණ.එම ස්මාරකය එවකට අධ්‍යාපන ඇමැති වත්මන් ජනාධිපතිගේ හා තවත් ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් අගමැති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් විවෘත කරන ලදී.

බොහෝ දෙනාගේ ගරු බුහුමනට ලක්වු මෙම ස්මාරකය කිසියම් පිරිසක් කඩා ඉවත්කර එහි වෙළඳසැලක් ඉදිකිරීමට සැලසුම් සකස්කරද්දී මහජන විරෝධය නිසා එය වැලකිණ.

මේ වනවිට මෙම ඓතිහාසික ස්මාරකය විහාරයේ පාලකයන් ඉබේම කඩාවැටීමට ඉඩහැර ඇති අතර එය වල්බිහිවී ඇත.කිසිදු පිළිසකරයක් නොකර එම ස්මාරකය ගරාවැටීමට ඉඩ හැරීම ජාතික අපරාධයකි.

මේ නිසා කළුකොඳයාවේ මහනාහිමියන් අපවත්වී වසර 46 ක් සපිරෙන 2023.11.12 දිනට පෙර මෙම ස්මාරකය ප්‍රතිසංස්කරණය කර එය සංස්කෘතික උරුමයක් බවට පත්කරන ලෙස ඔබතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

Exit mobile version