විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගෙන් අනතුරු ඇඟවීමක් .

ඉදිරි මාස කිහිපය තුළ රජයේ රෝහල්වල CT scan, MRI සහ  PET scan පරීක්ෂණ සේවා නතරවීමේ අවදානමක් පවතින බවට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, විකිරණ තාක්ෂණවේදීන්ගේ පවතින හිඟය හේතුවෙන් මෙම සේවා ක්‍රියාත්මක කරවීම ගැටලු සහගත වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම්වත් කළ ද මේ වන තෙක් ඔවුන් නවක නිලධාරීන් බඳවා ගැනීමට පියවර ගෙන නොමැති බවට චානක ධර්මවික්‍රම මහතා පවසයි.

“ඉදිරි මාස කිහිපය තුළ රජයේ රෝහල් පද්ධතිය තුළ තිබෙන CT scan, MRI, PET scan සහ ශල්‍යාගාරවල විකිරණ සේවාව, හෘද රෝග අංශවල කැතීටකරණ ඒකකවල බිඳවැටීමක් සිදුවෙන්න පුළුවන්. ඒකට හේතුව වන්නේ මේ ඒකකවල සේවාවන්වල නිරතවෙලා ඉන්න විකිරණ තාක්ෂණවේදී නිලධාරීන්ගේ තියෙන හිඟය. මේ වනවිට 40%ක පමණ හිඟයක් සමග තමා සේවය පිහිටුවාගෙන යන්නේ. ඒ එක්කම මේ වෙද්දි මාසයකට නිලධාරීන් 3 – 4ක ප්‍රමාණයක් විදේශගත වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් මාස ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කළා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය එම බඳවා ගැනීම් පරක්කු කරමින් ඉන්නවා. මේ වෙද්දි ඇහැළියගොඩ රෝහලේ සම්පුර්ණයෙන් විකිරණ සේවාව බිඳවැටී තිබෙනවා. ඒකට හේතුව මාස ගණනාවකට පෙර එම රෝහලේ සේවය කළ එකම විකිරණ සේවා නිලධාරිනිය විදේශගත වීමයි.”

Exit mobile version