සංචාරක හෝටල් වැඩ බිමකදී තරුණයෙක් හදිසියේ ජීවිතක්ෂයට .

අලුත්ගම මොරගල්ලෙ ඉදිකෙරෙන සංචාරක හෝටල් වැඩබිමක බිම සිට ඉහළ මහල් වෙත වැලි අදින යන්ත්‍රයක් ගැටී සිදුවූ අනතුරකින් උපකොන්ත්‍රාත්කරුවකු වූ තරුණයකු අද(28) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොබෙයිදූව මිරිස්වත්ත බෙන්තොට ලිපිනයේ පදිංචිව සිටි ගලබොඩ ආරච්චිගේ එරන්ද සම්පත් නැමති 24 හැවිරිදි අවිවාහකයෙකු බව සඳහන් .

මරණකරුගේ සොහොයුරෙක් ද මෙම වැඩබිමේ සේවය කර ඇති අතර තුවාලකරු කඩිනමින් රෝහල්ගත කළ නමුත් ඒ වන විට ඔහු මියගොස් සිටි බව හදිසි මරණ පරීක්ෂකවරයා ප්‍රකාශ කර තිබේ .

වැඩබිමේ දෛනික රාජකාරි ආරම්භ කර සුළු වේලාවකදී මෙම අනතුර සිදුවී ඇති අතර එම යන්ත්‍රයේ අනාරක්ෂිතභාවය හේතුවෙන් සිදු වූ අනතුරකින් මෙම මරණය සිදුවී ඇතැයි මියගිය පුද්ගලයා ඇඳ වැටුනු ස්ථානය නිරීක්ෂණය කළ බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා සඳහන් කර තිබේ .

අනතුරුව අලුත්ගම රෝහලේ තැන්පත් කර තිබූ මෘත ශරීරය පරීක්ෂාවට ලක්කල හදිසිමරණ පරීක්ෂකවරයා එම මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කලුතර ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස අලුත්ගම පොලිසියට නියෝග කර තිබේ.

මෙම අනතුර සිදුවන විටත් වැඩබිමේ පරිපාලකවරයා සේවයට පැමිණ නොසිට ඇති අතර මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී ආරක්ෂිත තත්ත්වය ගැන එම පරිපාලකවරයා සැලකිලිමත් විය යුතු බව මරණ පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ .

අදාළ මරණය සම්බන්ධයෙන් වැඩබිම් පරිපාලකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කර ඇති අතර අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොමේෂ් රත්නසිංහම් මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් රත්නායකය මහතා විසින් විමර්ශන කටයුතු සිදු කරනු ලබයි .

Exit mobile version