හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද (25) සවස පැවති නඩු විභාගයකට සහභාගි වී යළි පිටතට පැමිණෙමින් සිටි කාන්තාවකගේ ගෙලට තියුණු ආයුධයකින් පහර දී පලාගිය පුද්ගලයෙකු සොයා විමර්ශන ආරම්භ කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
අනතුරින් තුවාල ලැබූ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ .
වාර්තා වන ආකාරයට තමන්ගේ නිවසේ තිබූ පවුම් පහකට ආසන්න රත්‍රං භාණ්ඩ කිහිපයක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් තම සහෝදරයා සැක බවට අදාල කාන්තාව විසින් පාදුක්ක පොලීසියට කළ පැමිණිල්ලක් මත සිදුවන නඩු විභාගයකට පෙනී සිටීම සඳහා මෙම කාන්තාව හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ. පසුව යළි නිවසට යාම සඳහා අධිකරණය ඉදිරිපිට නවත්වා තිබූ තම යතුරුපැදියට නැගීමට යාමේදී එක්වරම ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙලෙස තියුණු ආයුධයකින් ගෙලට ප්‍රහාරයක් එල්ලකර පළාගොස් තිබේ .
අනතුරින් තුවාල ලබා ඇත්තේ 35 හැවිරිදි පූගොඩ ප්‍රදේශයේ කාන්තාවකි.
සිද්ධිය සම්බන්ධයෙන් තම සහෝදරයා සහ ඔහුගේ බිරිඳ සැක බවට එම කාන්තාව පොලීසියට ප්‍රකාශ කර ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ .
