” අග්බෝ ” ට ප්‍රතිකාර අරඹයි.

බඳින ලද තුවක්කුවක් සක්‍රීය වීම නිසා තුවාල ලබා මසකට අධික කාලයක් දැඩි ලෙස රෝගතුර වී සිටින අග්බෝ හස්තියා සඳහා ප්‍රතිකාර කිරීම ඊයේ (20) සිට ආරම්භ කළ බව වාර්තා වේ .

අනුරාධපුර , තිරප්පනේ ප්‍රදේශයේ බඳින ලද තුවක්කුවක් සක්‍රීය වීම නිසා අග්බෝ හස්තියා තුවාල ලබා මසකට අධික කාලයක් රෝගාතුරව සිටින අතර වනජීවී නිලධාරීන් විසින් අවස්ථා කිහිපයකදීම ඔහුට ප්‍රතිකාර කිරීමට සැරසුනද හස්තියා දැඩි ලෙස රෝගාතුර වී සිටි නිසා ඔහු අසලට යාම එතරම් පහසු කටයුත්තක් නොවීය . නමුත් දැඩි පරිශ්‍රමයකින් පසු වනජීවී නිලධාරීන් අග්බෝ හස්තියා වෙත ළඟා වූ අතර ඔහුට ප්‍රතිකාර කිරීම ඊයේ (20) දින ආරම්භ කෙරිණි.

මේ සඳහා එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන අජන්ත හිදුරන්ගල මහතා විසින් රුපියල් ලක්ෂ 7 කට ආසන්න ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබෙන අතර එම ඖෂධ මාසයකට පමණ සෑහෙන බවත් , වඩා වේගවත් සුවයක් ලබා ගැනීම සඳහා එම ඖෂධ භාවිතා කරන බවත් වනජීවී නිලධාරීන් සඳහන් කර තිබේ.

නමුත් අග්බෝ හස්තියාගේ ප්‍රතිකාර සඳහා ප්‍රමාණවත් ඖෂධ වනජීවී දෙපාර්තමේන්තුව සතුව පවතින බව වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම පැය 24 පුරාවටම හස්තියා වෙත අවධානය යොමු කරන බව වනජීවී නිලධාරීන් සඳහන් කර තිබේ.

Exit mobile version