කිලෝ 7 ක රන් සමඟ ගුවන් මගියෙකු අත්අඩංගුවට.

ඊයේ (07) උදෑසන 9.20ට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් 547 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකු රන් කිලෝ ග්‍රෑම් 7ක් සමඟ අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙසේ නීතිවිරෝධී අයුරින් ශ්‍රී ලංකාවට රුපියල් පහළොස් කෝටි විසි පන් ලක්ෂයක් වටිනා රන් කිලෝ ග්‍රෑම් 7 ක ප්‍රමාණයක් රැගෙන ආ ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ තුළ සිඳු කෙරෙන සියලු පරීක්ෂණ නිමවා රේගු පරිශ්‍රයෙන් ද පිටතට පැමිණ පසුව ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි නිතර ගුවන් ගමන්වල නිරත වන ව්‍යාපාරිකයෙකු බව සඳහන්.

එමෙන්ම මෙම ගුවන් මගියා සන්තකයේ තිබී ඔහුගේ ඉන ප්‍රදේශයේ පාර්සල් 8 ක් ලෙස සකස් කර සඟවා ගෙන තිබූ රන් තොගය , කිලෝ 4 යි ග්‍රෑම් 400ක් බර රන් බිස්කට් 42ක් , භාගයක රන් බිස්කට්ටුවක් , කිලෝ 2යි ග්‍රෑම් 600 ක් බර ස්වර්ණාභරණ තොගයක් සොයා ගෙන තිබේ.

මෙම රන් තොගය සහ සැකකාර ගුවන් මගියා වැඩි දුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබූ බව වාර්තා වේ.

Exit mobile version