මෙනින්ගොකොකල් ගැන නිවේදනයක් .

මෙනින්ගොකොකල්’ බැක්ටීරීයාව ආසාදනය වී ඇත්තේ, රෝගීන් දෙදෙනෙකුට පමණක් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂණවල දී තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ, ගාල්ල බන්ධනාගාරයේ එක් පුද්ගලයෙකුට පමණක් මෙම බැක්ටීරියාව ආසාදනය වී ඇති බවට පරීක්ෂණ හරහා තහවුරු වී ඇති බවයි.

එමෙන්ම කොළඹින් වාර්තා වූ අනෙක් රෝගියාත් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සුව අතට පත් වෙමින් සිටින බවත් ඔහු ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, අත්තිඩිය ප්‍රදේශයේ සේවය කර ඇති බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ඔහු පැවසුවේ, මෙම රෝගය වැළඳුණ රෝගීන් මීට පෙර වසරවල ද කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බවයි.

මේ අතර, ගාල්ල කරාපිටිය රෝහලේ දී ප්‍රථිකාර ලබා ගැනීමට පැමිණ මියගිය කුඩා දරුවෙකුට මෙම රෝගය වැළඳි ඇති බවට සැක පළ කළ ද එම දරුවාට මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස් රෝගය නොතිබූ බවට පරීක්ෂණ හරහා සනාථ වී ඇති බවද වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙනින්ගොකොකල් බැක්ටීරීයාව ආසාදනය වන ආකාරය පිළිබඳ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍රජීවී විශේෂඥ වෛද්‍ය ලිලානි කරුණානායක මෙලෙස පැහැදිලි කර තිබේ.

“මෙය බැක්ටිරියා මගින් ඇති වන රෝගයක්. මේක ව්‍යාප්ත වෙන්නේ සෙම සහ කෙළ මගින්. සමීපතමයන් අතර තමයි මේක ව්‍යාප්ත වෙන්නේ. ප්‍රජාව අතර ව්‍යාප්ත වෙනවාට වඩා නිවැසියන් අතර ව්‍යාප්තිය වැඩි. ඉතාම සමීප ඇසුරක් තිබෙන අයට තමයි ව්‍යාප්ත වෙන්නේ. රෝග ලක්ෂණ ගත්තොත් මෙනින්ජයිටීස් කියන්නේ සංකූලතාවයක්. ඊට අමතරව නියුමෝනියා සහ සෙප්සීස් කියන සංකූලතා ඇති වෙන්න පුළුවන්. අපේ රටේ මේකේ කාණ්ඩ පරීක්ෂා කරලා තියෙනවා. මෙහෙ තියෙන්නේ B සහ C යන වර්ග දෙක පමණයි. ඒක වසංගත රෝගයක් ලෙස පැතිරෙන්නේ නැති ලංකාවේ ආවේනික රෝගයක් විදියට තමයි යන්නේ.”

Exit mobile version