මිතුරන් පස්දෙනකු සමඟ කන්දකැටිය , පතහගල , උමාඔයේ මාළු ඇල්ලීමට ගිය පුද්ගලයකුට වන අලියකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර සෙසු පිරිස ගස්වලට නැග දිවි බේරාගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කන්දකැටිය , ට්‍රැක් 2/5 පදිංචිව සිටි නන්දසිරි ගුණසේකර නැමති අවිවාහක පුද්ගලයකි.
මරණකරු තවත් මිතුරන් පස්දෙනකු සමඟ ආහාර පාන රැගෙන මාළු ඇල්ලීමට කන්දකැටිය , පතහගල , උමාඔයට පසුගිය 23 වනදා රාත්‍රියේ ගොස් ඇති අතර මොවුන් පතහගල රක්ෂිතයේ සිටියදී ඊයේ (24) රාත්‍රියේ මොවුන් පසුපස වන අලියකු පන්නා තිබේ. අනතුරුව මොවුන් වන අලියාගෙන් බේරීමට දිවගොස් රක්ෂිතයේ ගස්වලට නැග තිබේ. එම අවස්ථාවේදී මරණකරු වන අලියාගෙන් බේරීමට ගසකට නැගීමට යාමේදී වන අලියා හොඩවැලෙන් මොහු අල්ලාගෙන බිමට දමා පාගා ඇති බව සඳහන්.
පසුව වන අලියා කැළෑවට ගොස් ඇති අතර ,ඒ සමඟ ගස්වලට නැග සිටි පිරිස බිමට බැස තුවාල ලබා සිටි මොහු ඔසවාගෙන කන්දකැටිය රෝහලට රැගෙන ගොස් ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය ප්‍රකාශ කරයි.