දරුවන් අතර චර්ම රෝගවල වැඩි වීමක්.

පවතින උෂ්ණ කාලගුණය හේතුවෙන් දරුවන්ට සිඳු වන අහිතකර බලපෑම් වළක්වා ගැනීම සඳහා දෙමපියන්ගේ අවධානය යොමු කළ යුතු බවත් , දියර භාවිතය වැඩි කිරීම මඟින් උෂ්ණත්වය නිසා ඇති විය හැකි සංකූලතා අවම කර ගත හැකි බවත් , මේ දිනවල චර්ම රෝගවල වැඩිවීමක් දක්නට ලැබෙන බවත් රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ විශේෂ්ඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ,

රෝග ලක්ෂණ විදියට මහන්සිය, නිදිමත ගතිය, ඇඟපත රිදෙන එක, සමහර අයට වමනය යන්න එනවා ඒ වගේ රෝග ලක්ෂණ කිහිපයක් ඇති වෙනවා. ඊට අමතරව දරුවන් සහ අපි වැඩිපුර ජලය සහ ලවණ ගත්තේ නැත්නම් වැඩිපුර දාඩිය දැමීම නිසා තාප කම්පන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් අපිට වළක්වා ගන්න පුළුවන් වැඩිපුර දියර ආහාර ගන්න. ස්වභාවික දියර තමා අපි කියන්නේ, ඒ කියන්නේ ජලය සමග ලවණ තියෙන. ස්වභාවික පලතුරු යුෂ, දෙහි, දොඩම්, නාරං, දෙළුම් වැනි දේවල්, තැඹිලි වතුර, කුරුම්බා වතුර හා ජීවනි වගේ පානයන් අපිට ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ සමේ රෝගත් වැඩිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම දාඩිය බිබිලි අපේ දරුවෝ අතර වැඩිවෙලා. දද වගේ දේවල්වලත් වැඩිවීමක් තියෙනවා. ඒ නිසා දරුවන්ට විනාඩි 20ක් විතර වතුරේ ඉන්න දෙන්න. පුංචිම දරුවෙක් වුණත් දවසට දෙසැරයක් නාන්න. ඒ තුළින් හමේ ඇති වෙන සංකූලතා අවම කරගන්න පුළුවන්.”

Exit mobile version