ත්‍රස්තවාදී පනතින් ශ්‍රී ලාංකික පුරවැසියන් පාලනය වන හැටි-ජාත්‍යන්තර වාර්තාවක් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ බලයේ සිටි රජ්‍යයන් මානව හිමිකම් කඩකිරීම් සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කර ඇති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ පොදු දේපළ පනත යොදාගනිමින් ක්‍රියාත්මක කළ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බව ය.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ වාර්ෂික වාර්තාවෙන් මේ බව අනාවරණය කර තිබේ.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ 2022/23 වාර්තාවෙන් දකුණු ආසියාතික රටවල් හතක් ගැන අවධානය යොමු කර ඇත. ඒ, ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ඝනිස්ථානය, බංගලාදේශය, මාලදිවයින, නේපාලය හා ශ්‍රී ලංකාව පිළිබඳව යි.

සංවිධානයේ වාර්ෂික වාර්තාව දකුණු ආසියානු කලාපයේ දී එළිදැක්වීම මාර්තු 28 වැනිදා කොළඹ දී පැවැත්විණි.

1970 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවට මැදිහත් වන ක්ෂමා සංවිධානය මෙවර වාර්තාවෙන් මතුකර ඇති ප්‍රධානත ම කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික අසමානතාව යි.

පසුගිය සැප්තැම්බර් මාසය වන විට උද්ධමනය 73.7%ක් දක්වා ඉහළ යාමත් සමඟ ජනතාවට ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා ලබාගැනීමට ඇති හැකියාවේ කැපීපෙනෙන අඩුවීමක් සංවිධානය නිරීක්ෂණය කරයි.

ක්ෂමා සංවිධානයේ වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ නිරීක්ෂණයේ දී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බොහෝ මානව හිමිකම් කඩවීම් සඳහා බලයේ සිටි රජයන් භාවිත කර ඇති බව පෙන්වා දෙයි. සාමකාමීව රැස්වීමේ ජනතා අයිතියට බාධා වන අන්දමින් 2022 වසරේ අප්‍රේල්, මැයි, ජුලි මාසවල දී වරින් වර සිදු කළ හදිසි නීතිය පැනවීම් මෙන් ම ගාලුමුවදොර අරගල භූමියට එවක රජයේ ආධාරකරුවන් මැයි 09 දා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ද වාර්තාවේ අවධානය යොමුකර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ පොදු දේපළ පනත යොදා ගනිමින් කළ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් මෙන් ම, “අගෝස්තු මාසයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශිෂ්‍ය විරෝධතා නායකයන් තිදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීමට අනුමැතිය ලබා දුන්නේයැ”යි ද වාර්තාවේ සඳහන් ය.

උද්ඝෝෂකයින්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීම මෙන් ම, ඉන් ඔබ්බට ගොස් ජීව උණ්ඩවලින් වෙඩි තැබීම නිසා රඹුක්කන ප්‍රදේශයේ පුද්ගලයෙකු මියයෑම හා 2022 ජුලි 21 දින අරගලකරුවන්ට, මාධ්‍යවේදීන්ට, නීතිඥයන්ට පහරදීම ද වාර්තාව ඉස්මතු කර ඇත.

ඡායාරූප ශීර්ෂ වැකිය,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉවත් කරන ලෙස හා පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස රජයට බලකරමින් විශ්වවිද්‍යාල සිසුන් මාර්තු 7 වැනිදා පැවැත්වූ විරෝධතාවයේ දී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන බවට රජය පොරොන්දු වී තිබුණ ද දිගින් දිගට ම එය පවත්වාගෙන යාම සහ ජාතිකත්වය පදනම් කරගෙන මෙම පනත භාවිත කිරීම මේ දක්වා ම සිදු ව තිබේ. අතුරුදන්වූවන්ගේ පවුල්වලට මෙතෙක් යුක්තිය ඉටු වී නොමැත,” වාර්තාවේ සඳහන් ය.

අතුරුදන් වූ බවට ලබාදෙන සහතිකයක් වෙනුවට පවුල්වල සාමාජිකයන්ට මූල්‍යමය වන්දි සහ මරණ සහතික භාරගන්නා ලෙස බලපෑම් කර ඇති බව ද ක්ෂමා සංවිධානය හෙළි කරයි.

මීට අමතර ව LGBTIQ ප්‍රජාවට එරෙහි නීති මෙතෙක් සංශෝධනය නොකිරීම සහ ඔවුන්ට වෙනස්කොට සැලකීම ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය නිරීක්ෂණයේ දී හෙළිදරවු වී ඇති කරුණක් වේ.

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත (ATA) ගැනත් අවධානය

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියක් වන අම්බිකා සත්කුණනාතන් සහ වෘත්තිය සමිති හා මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන ස්වස්තිකා ආරුලින්ගම්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා සභාවක් ද මෙහිදී පැවැත්වුණි.

එහි දී, ශ්‍රී ලංකාව දශක ගණනාවක් මුහුණ දි සිටින ජාතික ප්‍රශ්නය සහ ගෝල්ෆේස් අරගලය සමඟ එහි තත්ත්වයන් වෙනස් වූ ආකාරය පිළිබඳ සාකච්ඡා විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) වෙනුවට සම්මත කිරීමට ගෙන එන නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත (ATA) සම්බන්ධයෙන් ද එහි දී අවධානය යොමු විය.

එම පනත් කෙටුම්පතේ ද අපැහැදිලි නිර්වචන, රැඳවුම් නියෝග ලබා ගැනීමට ඇති හැකියාව, ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳ ගැටලු වැනි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ද තිබූ හිඩැස් ම තිබෙන බව අම්බිකා සහ ස්වස්තිකා යන දෙදෙනා ම මෙහිදී අවධාරණය කළහ.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට, මානව හිමිකම් ක්‍රියාකාරීන්ට ඉන්දියාවෙන් බාධා

ඉන්දියාව තුළ භාෂණයේ නිදහස අහිමිකිරීම් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් මර්දනය මෙන් ම, එවැනි ජාත්‍යන්තර ක්‍රියාකාරීන්ට ඉන්දියාවට පිවිසීමට අවස්ථාව ලබා නොදීම පිළිබඳ ද වාර්තා ව හෙළි කරයි. එමෙන් ම ඇතැම් මානව හිමිකම් ක්‍රියාකාරීන්ට ඉන්දියාවට ප්‍රවේශ වීම තහනම් කර තිබේ.

ඉන්දියාවේ සුළු ජාතිකයන්, විශේෂයෙන් ම දාළිත් කුලයේ සහ ආදිවාසී ජනතාවට මානව හිමිකම් කඩවීම්වලට සහ හිංසනයන්ට ලක්වීමට සිදුව ඇති බව ද වාර්තාවේ සඳහන් කරුණකි.

කුල පදනම් කරගෙන සිදු වූ මානව හිමිකම් කඩකිරීම් 50 000කට වැඩි බව සහ ආදිවාසී ජනතාව මුහුණදුන් මානව හිමිකම් කඩවීම් 9000කට වැඩි බව එයින් කියැවේ.

කාලගුණ විපර්යාසවලට වැඩි වශයෙන් ලක්වන රටක් බවට මේ වන විට පත් ව තිබෙන ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට පසුගිය වසරේ බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් මිලියන 4.8කට ආහාර සම්බන්ධ ගැටලු ඇති කර ඇතැ යි ද ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.

සිසුවියන්ට අධ්‍යාපනය තහනම් වූ ඇෆ්ගනිස්ථානය

තාලිබාන් පාලනය යටතේ මානව හිමිකම් යනු ඇෆ්ගනිස්ථානයේ හුදු වචනයක් පමණක් බවට පත්වන තරමට ම කාන්තාවන් ඉලක්ක කර ගත් සහ භාෂණයේ නිදහස උල්ලංඝණය වන මානව හිමිකම් කඩවීම් විශාල සංඛ්‍යාවක් සිදු ව තිබේ.

එරටේ ජනගහණයෙන් මිලියන 20ක ජනතාව ආහාර අනාරක්ෂිතතාවෙන් පෙළෙන බව වාර්තාවේ දැක්වේ.

ඇෆ්ඝනිස්ථානයේ ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට වැට බැඳීම මෙම වාර්තාවෙන් ඉස්මතු කර පෙන්වයි.

ක්ෂමා සංවිධානය පවසන්නේ කාන්තාවන්ගේ අධ්‍යාපනය තහනම් කර ඇති ලෝකයේ එක ම රට ඇෆ්ඝනිස්ථානය බව යි. ඇෆ්ඝනිස්ථානයේ තිබූ ජාතික මානව හිමිකම් ආයතනය තාලිබාන් පාලනය ආරම්භයත් සමග අක්‍රිය වී තිබේ.

සංක්‍රාන්ති ලිංගිකයින්ට තර්ජනයක් වූ පාකිස්ථානය

පාකිස්ථානය ද විශාල වශයෙන් කාලගුණ විපර්යාසවලට මුහුණ දී ඇති රටකි.

පසුගිය වසරේ දී දැඩි උෂ්ණත්වයෙන් සහ ගංවතුර හේතුවෙන් 1100කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

වාර්තාව ඉදිරිපත් කිරීමේ දී පැවැත් වූ සාකච්ඡාවේ දී අනාවරණය වූයේ 2022 ජනවාරි සහ මාර්තු යන මාස අතරතුර දී පසුගිය වසර 60කට පසු පාකිස්ථානයෙන් වාර්තා වූ ඉහළ ම උෂ්ණත්වය වාර්තා වී ඇති බවයි.

මෙතෙක් විසඳී නොමැති බලහත්කාරී අතුරුදන්වීම් 2210ක් 2022 දෙසැම්බර් 31 වන දින තෙක් පාකිස්ථානයෙන් වාර්තා වී තිබේ. 2021 ඔක්තෝබර් සිට 2022 සැප්තැම්බර් දක්වා ඝාතනය වී ඇති සංක්‍රාන්තික ලිංගිකයන් සංඛ්‍යාව 18කි.

Skip Twitter post, 1

Twitter අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට ‘පිළිගෙන ඉදිරියට යන්න’ තෝරන්න.Accept and continue වීඩියෝ ශීර්ෂ වැකිය,අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Twitter post, 1

බංගලාදේශයේ මාධ්‍යවේදීන්ට හිංසන

පසුගිය වසර තුළ දී බංගලාදේශයේ දී මාධ්‍යවේදීන් 179කට අධික පිරිසක් හිංසනයට පත් ව ඇති බව ක්ෂමා සංවිධානය පවසයි.

එමෙන් ම බංග්ලාදේශයේ සම්මත කර ඇති නව ඩිජිටල් ආරක්ෂණ පනත යටතේ මානව හිමිකම් කඩවීමේ සිදුවීම් 114ක් පමණ වාර්තා වී තිබේ.

බංගලාදේශය තුළ වෙසෙන රොහින්ග්‍යා සරණාගත දරුවන්ගේ පාසල් 30ක් වසා දැමීමට බංගලාදේශය කටයුතු කර තිබෙන්නේ, ඒවායේ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වන බවට වන ලේඛනවලට ඔවුන් ලවා බලහත්කාරයෙන් අත්සන් ලබාගෙන බව වාර්තාව හෙළි කරයි.

මෙම වාර්තාවේ බංගලාදේශය පිළිබඳව දැක්වෙන තවත් ප්‍රධානත ම කරුණක් වන්නේ, බලහත්කාරයෙන් අතුරුදන් කෙරුණු අය රඳවා තබාගැනීමට රජය විසින් කවුළු රහිත කුටි රහසේ පවත්වාගෙන යන බවට නේත්‍ර නිව්ස් නැමැති එරට මාධ්‍ය ආයතනයක් විසින් කළ හෙළිදරව්ව යි.

නීතිවිරෝධීව උද්ඝෝෂණ මඬින මාලදිවයින

මාලදිවයිනේ උද්ඝෝෂණ මර්දනයට අනීතික ආකාරයෙන් ආරක්ෂක අංශ යොදාගන්නා බව වාර්තාවේ දැක්වේ. එමෙන් ම සම්මත කර තිබෙන සාක්ෂි පනත ජනමාධ්‍ය නිදහසට ද බාධා ඇති කර තිබේ.

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉතා අඩු රටවල් අතරින් එකක් වන මාලදිවයිනේ එම අගය 4.6%කි.

තව ද, මාලදිවයින යනු කාලගුණ විපර්යාසවලට ප්‍රබලව ම මුහුණ දී සිටින රටකි. ග්ලැසියර දියවීමත් සමග මුහුදු ජල මට්ටම ඉහළ යාම නිසා මාලදිවයිනේ දූපත් කෙමෙන් කෙමෙන් මුහුදට බිලිවෙමින් පවතියි.

කාන්තාවන්ට සම පුරවැසි අයිතිවාසිකම් නොමැති නේපාලය

කාන්තාවන්ට සම පුරවැසි අයිතිවාසිකම් ලබා දීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන කිරීමට නේපාල රජය මෙතෙක් අපොහොසත් ව ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.

තව ද උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා අනවශ්‍ය ආකාරයෙන් විශාල ආරක්ෂක අංශ යෙදීමක් ද නේපාලය විසින් සිදු කරන අතර, එනිසා මේ වන විට අවම වශයෙන් එක් උද්ඝෝෂකයෙකු වෙඩි තැබීමකින් මියගොස් තිබේ.

1996 සහ 2006 අතර කාලයේ නේපාලය තුළ අන්තර් ජාතික මානව හිමිකම් නීතිවලට පටහැණිව සිදු වූ අපරාධවලට අදාළව යුක්තිය ඉටු කිරීමට ද නේපාලය මෙතෙක් අපොහොසත් ව ඇතැ යි මෙම වාර්තාව අනාවරණය කරයි.

Skip Twitter post, 2

Twitter අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට ‘පිළිගෙන ඉදිරියට යන්න’ තෝරන්න.Accept and continueවීඩියෝ ශීර්ෂ වැකිය,අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Twitter post, 2

මානව හිමිකම් පිළිබඳ ලෝකයේ දෙබිඩි පිළිවෙත

වාර්තාව එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන අදහස් දැක්වීම සිදුකළේ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක දෙප්‍රෝස් මුචේනා විසින් ය.

ඔහු පැවසුවේ යුක්ක්‍රේන – රුසියා යුද ගැටුම තුළින් බටහිර ලෝකයේ රටවල් මානව හිමිකම් සම්බන්ධයෙන් අනුගමනය කරන දෙබිඩි පිළිවෙත හෙළිදරව් වන බව යි.

“රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම නිසා ඇති වූ යුද්ධය පෙන්නුම් කරන්නේ ලෝකයේ ධනවත් රටවල් සමහරකට ආරක්ෂාව පතාගෙන එන අයට ආරක්ෂාව ලබා දෙන්න හැකියාවක් තිබෙන බව. ඒ වගේ ම ඒ සරණාගතයන්ට සෞඛ්‍ය, අධ්‍යාපනය වගේම ඉන්න තැනක් ලබා දෙන්නත් ඔවුන්ට ලොකු හැකියාවක් තිබෙන බව පෙන්නුවා. නමුත් ඔවුන් පලස්තීනයේ ජනතාව ගැන එහෙම හිතුවේ නෑ. තාලිබාන් පාලනයෙන් පැනලා එන ඇෆ්ගන් ජාතිකයන් ගැන, රොහින්ග්‍යා සරණාගතයන් ගැන ඔවුන් ඒ විදිහට වැඩ කළේ නෑ,” ඔහු පැවසීය.

රටවල් කිහිපයක ම මුස්ලිම් ජාතිකයන්ට වෙනස්කොට සැලකීම, LGBTIQ ප්‍රජාවට වෙනස්කොට සැලකීම මෙන් ම දකුණු ආසියාතික කලාපයේ රටවල් ඇතුළු රටවල් ගණනාවක භාෂණයේ නිදහසට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් ද ලෝක ප්‍රජාව අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතක් බව ඔහු පැවසුවේ ය.

එමෙන් ම දකුණු අසියාතික රටවල් නිතර ම මුහුණ දෙන ස්වභාවික ආපදා සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කළ අතර, එම රටවල් සම්බන්ධයෙන් කළ පර්යේෂණයක දී ස්වභාවික ආපදා නිසා පීඩාවට පත්වන ජනතාව සම්බන්ධයෙන් ද අවධානයක් යොමු කර තිබේ.

“ධනවත් රටවල්වල දෙබිඩි පිළිවෙත ඔවුන් දේශගුණ විපර්යාස ඇතිකිරීමට දක්වන විශාල දායකත්වයෙන් ද පැහැදිලි වෙනවා. දකුණු ආසියාවට නිතර ම දේශගුණ හදිසි අවස්ථාවන්ට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. ඒ නිසා ඒ රටවල්වලට නිතර ම පාඩු ගණනය කරමින් හානිපූරණය කරන්න වෙලා. මේ තත්ත්වයන් ෆොසිල ඉන්ධන භාවිතය අවම කිරීමට ඇති අවශ්‍යතාවයත් පැහැදිලි කරනවා,”

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

කඳුළු ගෑස් :’වෙනත් රටකටවත් නොගහන කඳුළු ගෑස් රටේ පුරවැසියන්ට ගහන්නේ ඇයි’?2023 මාර්තු 10

තාලිබාන් සංවිධානය ඇෆ්ඝන් කාන්තාවන් ක්‍රමානුකූලව සීමාකර ඇති ආකාරය2023 පෙබරවාරි 13

අරගලය මර්දනය කිරීමේදී ශ්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝණය කළ බවට මානව හිමිකම් සදහා වන ජාත්‍යන්තර සම්මේලනයෙන් චෝදනා2023 පෙබරවාරි 3

‘තාලිබාන් එක නැතිවුණාම මං ගෑනු ළමයින්ට සංගීතය උගන්නන්න ආපිට ඇෆ්ඝනිස්ථානෙට යනවා’2023 මාර්තු 25

ප්‍රධාන පුවත

දැක්ම

වැඩිපුරම කියැවූ

  1. 1මෙරට ඉන්ධන වෙළඳපොළ විදෙස් සමාගම්වලට විවෘත කිරීම හොඳ ද?
  2. 2ජනතාවගේ ‘මාළු මිලදී ගැනීමේ’ හැකියාවට මොකද වුණේ?
  3. 3අභිමාන්: වසර 50කට පසුව ද අදටත් ගැලපෙන ‘අකාලික’ බොලිවුඩ් චිත්‍රපටය
  4. 4ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් මර්දනය වන ශ්‍රී ලාංකිකයන්
  5. 5මහාචාර්ය සනත් නන්දසිරි: මිලින වී ගිය ‘තේජාන්විත හඬ පෞරුෂය’

BBC News, සිංහල

© 2023 BBC. බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ. බාහිර යොමු කෙරෙහි අපගේ ප්‍රවේශය ගැන කියවන්න

Exit mobile version