චැනල් 4 වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශණයක්.

චැනල් 4 නාලිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් විමර්ශණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි වෙත කුමන්ත්‍රණ වගකීම පවරා චැනල් 4 නාලිකාව නිකුත්කළ වීඩියෝව පිළිබඳව මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය වෙත සිදුකළ පැමිණිල්ලක් ප්‍රාකාරව මෙම විමර්ශණය ආරම්භ කර තිබේ.

මෙම කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධව මීට පෙර තමන් විසින් සාක්ෂි සහිතව පිළිතුරු ලබා දී තිබියදී චැනල් 4 නාලිකාව හිතා මතාම තමන් ඉලක්ක කරගෙන ද්වේෂ සහගතව මෙම වීඩියෝ පථය ප්‍රචාරය කර ඇති බවට ඔහු බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය වෙත කළ පැමිණිල්ලේ දක්වා ඇත.

මෙම පැමිණිල්ල මත චැනල් 4 වීඩියෝව සම්බන්ධව විමර්ශණ ආරම්භ කර ඇති බවට බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් දැනුම්දී ඇතැයි රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයිගේ නීතිඥ පසන් වීරසිංහ මහතා සදහන් කර තිබේ.

ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ ,අදාළ වීඩියෝ පථය නිකුත් කිරීමට පෙර චැනල් 4 නාලිකාව පසුගිය අගෝස්තු මස 07 වනදා සුරේෂ් සලෙයි මහතාගෙන් එම චෝදනා පිළිබඳව කරුණු විමසීමක් සිදු කර තිබූ බවයි.

එහිදී එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර තමන් එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාව තුළ රැදී නොසිටි බවටද සුරේෂ් සලෙයි විසින් ඊට පසුදිනම එම නාලිකාවට ලිඛිතව දැනුම්දීමක් සිදුකර තිබේ.

Exit mobile version