ණය ප්‍රතිව්‍යුහගත කරන්න නිල ණයහිමි කමිටුවක් පිහිටුවයි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු රැස්වීමේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිල ණයහිමි කමිටුවක් පිහිටුවා ඇති බව වාර්තා වේ.

එමෙන්ම ණයහිමි රටවල් 17 ක සහභාගීත්වයෙන් මෙම කමිටුව පිටුවා ඇති අතර ඉන්දියාව , ප්‍රංශය සහ ජපානය මෙහි ප්‍රධානත්වයක් ගනී. ශ්‍රී ලංකාවේ ණ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැවති පළමු සාකච්ඡාව සදහා චීනය ද සහභාගී වූ බව සඳහන්.

මෙම පළමු සාකච්ඡාවට ශ්‍රී ලංකා බලධාරීන්ද සහභාගී වී ඇති අතර එහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිල ඉල්ලීම ඔවුන් විසින් සිදු කළ බව පැරිස් සමාජය නිවේදනය කර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා චීනය නිරීක්ෂකයෙකු ලෙස සහභාගී වූ බව ජපානයේ ඉහළ පෙළේ මූල්‍ය නියෝජිත මසටෝ කණ්ඩා මහතා ප්‍රකාශ කර ඇති අතර ඉදිරි සාකච්ඡා සඳහා ද චීනය පූර්ණ සාමාජිකයෙකු වශයෙන් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කරන ලදී.

 එමෙන්ම සාධාරණ ලෙස බෙදාගැනීමේ පදනම සහිතව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදු වනු ඇති බවත් , ශ්‍රී ලංකාවේ සියලු වාණිජ සහ බහුපාර්ශවීය ණයහිමියන්ට දැනුම් දී ඇති බවත් , ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී චීන මූල්‍ය ආයතන සදහා උපරිම සහය දක්වන බවත් , මේ සම්බන්ධයෙන් ස්ථීරසාර විසඳුමකට පැමිණීම උදෙසා ශ්‍රී ලංකාව සමඟ සමීප සංවාදයක නිරත වන බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා ඊයේ (09) පැවති දෛනික මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

Exit mobile version