කොටි කතගේ උප්පැන්නෙන් ලේඛන හදලා තවත් කතක් රට යවලා – කොස්තාපල් අත්අඩංගුවට

2009 වසරේ පැවති මානුෂීය මෙහෙයුම අතරතුර අතුරුදන් වූ එල් . ටී . ටී . ඊ . සංවිධානයේ ප්‍රබල සාමාජිකාවක් වන රාසයියා අයීෂා නැමැති කාන්තාවගේ උප්පැන්න සහතිකය ලබාගෙන , ඉන් ජාතික හැදුනුම්පතක් සහ තවත් ව්‍යාජ ලේඛන සකස් කර කරුපයියා සෙල්ව කාන්ති නැමති කාන්තාව විදේශ ගත කිරීම සදහා ආධාර අනුබල දී ආගාමික විගාමික පනතේ වරදක් සිදු කළා යැයි පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා නො.181 , දේවාල පාර , මාකොල , කිරිබත්ගොඩ පදිංචි අයෙක් බව කියයි.  

මෙම විදේශගත වූ කාන්තාව යළි මෙරටට පැමිණි අවස්ථාවේ දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම  කාන්තාව මෙම නඩුවේ පළමු සැකකාරිය ලෙස අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ බව වාර්තා කරයි.

එම සැකකාරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය ප්‍රකාශ කර ඇත්තේ ඇයට විදේශ ගත වීම සදහා තවත් පුද්ගලයින් දෙදෙනෙකු අනුබල දුන් බවයි. එම සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා මෙම නඩුවේ සිව් වන සැකකරු ලෙස අධිකරණය වෙත ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  පොලිස් කොස්තාපල්වරයා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා ඊයේ (14) නියෝග කළ බව වාර්තා වේ.

Exit mobile version