බන්දුල ඇණ වලින් ඇන ගනී -ඇණ ගලවපු කතාව බොරුවක්.

නව කැලණි පාලමේ රුපියල් මිලියන ගණනක් වටිනා ඇණ සොරකම් කර ඇති බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ, එම කාර්‍ය සඳහා විශේෂ මෙවලම් අවශ්‍ය බැවින්, මෙම ඇණ එතරම් පහසුවෙන් ඉවත් කළ නොහැකි බවයි.

පාලමේ ඇණ ඉවත් කර නොමැති බවත්, ඒවා ඉවත් කිරීමට අවශ්‍ය විශේෂ මෙවලම් ඇත්තේ අදාළ ඉංජිනේරු සමාගම් සතුව පමණක් බවත්, ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කර තිබේ.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ , අපවහන පද්ධතියේ ජීඅයි පයිප්ප, පීවීසී පයිප්ප, පාලමට සම්බන්ධ සන්නිවේදන කාමරයේ වායු සමීකරණ පද්ධතියේ ඇතැම් කොටස් සහ පාලම දිගේ සවි කර ඇති වර්ණ බල්බ පමණක් සොරාගෙන ඇති බවයි.

පාලමින් සොරාගත් භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන 5.9ක් බවට ඇමැතිවරයා සඳහන් කර තිබේ.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පිත්තල කම්බි, ජීඅයි පයිප්ප, විදුලි පහන් කණු වැනි රුපියල් මිලියන 294.4 ක් වටිනා භාණ්ඩ සොරකම් කර ඇති බවද ඔහු අනාවරණය කළේය.

එමෙන්ම 2021 සැප්තැම්බර් සහ 2023 ජූලි අතර විදුලි අර්බුදය සහ කොවිඩ්-19 කාලය තුළ කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි රැහැන් පද්ධතියේ පිත්තල වයර් මෙසේ සොරකම් කර ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version