ඉකුත් වසරේ මැයි මස 09 වන දා ගාලු මුවදොර අරගල භූමියේ ඇතුළු දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පොලිසිය නිසි පියවර ගැනීමට අපොහොසත් වීම තුළින් මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් “රයිට් ටු ලයිෆ්” සංවිධානය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
අදාළ පෙත්සම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මතු කළ මූලික විරෝධතා පිළි ගනිමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් වසරේ මැයි මස නව වන දා පෙරවරුවේ ගාලු මුවදොර ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ පස්වරුවේ දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පොලිසිය නිසි පියවර ගැනීමට අපොහොසත් වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට චෝදනා කළා.
ඒත් ජේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා මූලික විරෝධතාවක් මතු කරමින් කියා සිටියේ පෙත්සම්කරුවන් මෙම පෙත්සම නිසි නීතිමය කාලසීමාව තුළ ඉදිරිපත් කර නොමැති බවයි.
නියමිත කාලය ඉක්මවා ගිය පසු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති නිසා එය පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ජේෂ්ඨ රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දස දෙනකු සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.
