මී මැසි ජනපදවලට හානි කරන නව කෘමියෙක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති බව වාර්තා වේ.
සබරගමුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කළ පර්යේෂණයකට අනුව අනාවරණය වී ඇත්තේ එම කෘමියා ‘Small hive beetle’ නමින් හඳුන්වන කුඩා කුරුමිණි විශේෂයකට අයත් බවයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ මී මැසි ජනපදවල මී මැස්සන් සිය වාසස්ථාන අත්හැර දමායන බවට නිරීක්ෂණය වීම හේතුවෙන් සබරගමුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් පසුගිය දිනෙක ඒ සම්බන්ධයෙන් පර්යේෂණයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව, මෙරටින් ප්‍රථමවරට මී මැසි ජනපදවලට හානිකරන නව කෘමි විශේෂයක් සොයාගැනීමට එම කණ්ඩායම සමත් වුණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, දැලිවල කෘෂි උපදේශක කොට්ඨාසයේ වැලිගමුව ගමෙහි මී වදයක ප්‍රථම වතාවට එම කෘමියා නිරීක්ෂණය වී තිබේ.
“ස්මොල් හයිව් බීට්ල්” (SMALL HIVE BEETLE) නමින් හඳුන්වන කුඩා කුරුමිණි විශේෂයකට අයත් බව පැවසෙන එම කෘමියා මී මැසි ජනපද තුළට රිංගා මී වද තුළ බිත්තර දමන බවත් ඉන් උපදින කීටයින් මී පැණි ,පරාග ,මී ඉටි ආහාරයට ගෙන වැඩෙන හෙයින් මී මැස්සන් තම ජනපද හැරදමා යන බව සොයාගෙන තිබේ.
එම නව කෘමියා සම්බන්ධයෙන් මී මැසි ජනපද පවත්වාගෙන යන පිරිස් දැනුවත් කිරීම කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී පසුගියදා සිදුකෙරුණේ කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ නිල්මා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
මේ වනවිට එම නව කෘමියා පිළිබඳව වැඩිදුරටත් පර්යේෂණ බණ්ඩාරවෙල බිදුණුවැව මී මැසි පර්යේෂණ ඒකකය මගින් පවත්වනු ලබයි.
මී මැසි ජනපද පවත්වාගෙන යන පිරිස් තමන්ගේ ජනපද පිළිබඳව දැඩි සෝදිසියෙන් සිට එවැනි කෘමී උවදුරක් දුටුවහොත් වහාම දැනුම් දෙන ලෙසට කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව දැනුම්දී තිබේ.
මී පැණි නිෂ්පාදනයට අමතරව මෙරට ආහාර දාමයට පරාගනය තුළින් අතිවිශාල සේවාවක් ඉටු කරන මී මැස්සන් එම නව කෘමියා විසින් විනාශකර දැමුවහොත් මෙරට ආර්ථිකයට හා ස්වයං රැකියාවල නිරත වන්නන්ටද විශාල පහරක් වන බව කෘෂි නිලධාරීන් පෙන්වා දෙති.














































