එකම පවුලේ ඥාති අක්කා සහ මල්ලී සෙල්ලම් කරමින් සිටිය දී අක්කා විසින් එල්ල කළ යකඩ කූරු පහරින් බරපතළ තුවාල ලැබූ දස හැවිරිදි පිරිමි දරුවා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස එල්ල කළ යකඩ කූරු පහරින් පිරිමි දරුවාගේ නළල පසාරු කරගෙන ගොස් බරපතළ තුවාල ලබා ඇති අතර ඔහු මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබේ.
පහර දීම සිදු කළා යැයි කියන දොළොස් හැවිරිදි දැරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයව මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආරක්ෂාව සඳහා ළමා නිවාසයක රැඳවීමට පියවර ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් දැරියගේ මව විදෙස් ගතව සිටින බවත් පියා වෙනත් විවාහයක් කරගෙන ඇති බවත් සිදු කළ විමර්ශන වලින් හෙළිව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කටාන පොලිසිය විසින් සිදු කරන බව වාර්තා වේ.
